රිලා ගණන් කරපු ආණ්ඩුව ඒකිනුත් ෆේල්.. - වාර්තාව හැංගිලා
ශ්‍රී ලංකාවේ භෝගවලට හානි කරන වන සතුන් පිළිබඳ ජන සහභාගීත්වයෙන් යුතුව පැවති සංගණනයකට මාස දෙකක් ගතවුවද, එහි කිසිදු වාර්තාවක් මේ දක්වා නිකුත් වී නැත.
2025 මාර්තු 15 වන දින පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 15ක කාලයක් තුළ මෙම සංගණනය සිදු කෙරුණි. රිලවුන්, වඳුරන්, දඬුලේනන්, සහ මොනරුන් යන දිවා කාලයේ සැරිසරන වන සතුන් වර්ග හතරක් මෙහිදී සංගණනයට ලක් කෙරිණි.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සංගණනයට පෙර පැවසුවේ, ග්‍රාමීය මට්ටමින් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සහ සමෘද්ධි නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජනතාවගේ සහයෝගයෙන් මෙම සංගණනය සිදු කරන බවයි. ජනතාවට දත්ත පිරවීම සඳහා පත්‍රිකා බෙදා දුන් අතර, එම පත්‍රිකා ග්‍රාමීය නිලධාරීන් විසින් එකතු කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමු කර, අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා කොළඹ එක් මධ්‍යස්ථානයකට යවන බවත් ඔහු සඳහන් කළේය.
මෙම දත්ත භාවිතයෙන් වන සතුන් වැඩිපිරිසක් සිටින ප්‍රදේශ හඳුනාගෙන, වන සත්ව ගැටලු විසඳීමට ප්‍රයෝජනවත් ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබිණි.
කෙසේ වුවත්, සංගණනය අවසන් වී මාස දෙකක් ගතවුවද, එහි ප්‍රතිඵල හෝ වාර්තාවක් පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි වී නැත. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත හෝ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතාගෙන් විමසූ විට, ඔහු පැවසුවේ, “අපිත් වාර්තාව නිකුත් වෙන තුරු බලා ඉන්නවා” යනුවෙනි. අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම සංගණනය සඳහා රුපියල් ලක්ෂ 24ක පමණ මුදලක් වැය වූ බවයි. එමෙන්ම, ඇතැම් ප්‍රදේශවල දත්ත එකතු කිරීමේදී දෝෂ හඳුනාගෙන ඇති බවත්, ඒවා නිවැරදි කිරීමෙන් පසු වාර්තාව නිකුත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රමාදය ග්‍රාමීය ගොවි ජනතාවගේ වන සත්ව ගැටලු විසඳීමට ගන්නා පියවරවලට බාධාවක් වී ඇති බවත්, ඉක්මන් වාර්තා නිකුතුවක් අපේක්ෂා කරන බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
