විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විශේෂ සාකච්ඡාවක් - විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් අද හවසට එකතු වේ
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය විසින් ඉදිරිපත් කර ඇති නව යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අවධානය යොමුකිරීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සංවිධානය කර ඇති මෙම සාකච්ඡාව කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන අතර, ඒ සඳහා හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් ද සහභාගී වීමට නියමිතව ඇත.
රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව රජය කටයුතු කිරීම නිසාවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමේ අරමුණින් මෙම හදිසි සාකච්ඡාව කැඳවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දෙයි.