සජබ සහ ඉරාන් අතර සබඳතාව පළුදු වෙයි - පක්ෂය අත්හැර යන්නැයි නිල දැනුම්දීමක්
සමගි ජන බලවේගය (සජබ) විසින් තම පක්ෂ ප්‍රතිපත්තියට අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි ඉරාන් වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ.
සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අද (29) දින යොමු කළ ලිපියක් මගින් මෙම දැනුම්දීම සිදුකර ඇත. එම ලිපිය, වික්‍රමරත්න මහතා විසින් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයට පිළිතුරු ලෙස යොමු කර ඇත.
එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ, පක්ෂ ප්‍රතිපත්තිය අනුව සියලු ක්‍රීඩා සංගම් දේශපාලන බලපෑම්වලින් තොරව පවත්වාගෙන යා යුතු බවත්, ඒවායේ තනතුරු දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයන් විසින් නොදැරිය යුතු බවත්ය.
ඒ අනුව, තවදුරටත් පක්ෂ සාමාජිකයෙකු ලෙස සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි වන බැවින්, සදාචාරාත්මකව පක්ෂ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වීම සුදුසු බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.
එබැවින්, එසේ කටයුතු කරන ලෙස ඉරාන් වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ.