වලකට වැටී සිඟිත්තියක් ජීවිතක්ෂයට
වැඩිහිටියන්ගේ නොසැලිකිලිමත්භාවය හේතුවෙන් කුඩා දරුවන් ට සිදුවන ඛේදනීය සිදුවීම් දිනෙන් දින අපට අසන්නට ලැබීම සමාජය මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වයකි.
එවන් සිදුවීමක් මින්නේරිය - හතරැස් කොටුව, මහමොරකන්ද ප්‍රදේශයෙන් "අද දෙරණ" ට වාර්තා වුණි.
ඒ ඊයේ (11) පස්වරුවේ දෙමාපියන් නිවසේ නොමැතිව ඥාති නිවසක සිටි කුඩා දැරියක් අලුතින් කපන ලද වැසිකිළි වළකට වැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතකි.
"එක පාරක් නැඟිටිනකොට මං ඇඳුමින් ඇඳලා අරන් දොයිය ගන්න පුතේ කිව්වා. ආපහුත් නැඟිට්ටම මම කිව්වා දැන් අම්මා එයි පුතේ කියලා. මගේ දරුවට කිරි දිදී මට එහෙමම නින්ද ගියා. මම ඇහැරිලා බලනකොට දෝණි නෑ ළඟ. කොට්ටෙත් නෑ. ඊට පස්සේ ළමයි ඉක්මනට හොයන්න දිව්වා. ගෙදර කවුරුත් හිටියේ නෑනේ. ඒ යද්දි ලොකු දෝණි කෑ ගැහුවා. නංගි වළේ ... කියලා. මම බලද්දි දෝණි වළ ඇතුළට වැටිලා. මම දන්නේ නෑ කෙල්ල කොයි වෙලේ ද ගියේ කියලා." හැඬු කඳුළින් එලෙස සිදුවීම පිළිබඳ විස්තර කර සිටියේ, මියගිය දැරියගේ ලොකු අම්මාය.
මවත් පියත් නිවසේ නොසිටිම හේතුවෙන් ලොකු අම්මාගේ නිවසේ තබා ගොස් සිටි භාග්‍යා රස්සම්නි බණ්ඩාර නම් වූ පුංචි දියණිය මේ වන විට මෙලොවින් සමුගෙන ගොස් අවසන්ය.
අවුරුද්දයි මාස 10ක් වූ ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වුවාය.
රජයේ වියදමින් කපා ඇති එම වැසිකිළි වළේ වැඩ නිම කිරීමට කල්ගත වීම හේතුවෙන් මේ වන විට වර්ෂා ජලය පිරී ඇති අතර, දැරිය නිදා සිටි කොට්ටය ද රැගෙන එම ස්ථානයෙන් යෑමට උත්සහ දැරීමේදී පය ලිස්සා වළ තුළට වැටෙන්නට ඇතැයි ඥාතීහු පවසති.
"මං හිටියේ නෑ. මං ඉස්පිරිතාලේ ගිහින් හිටියේ. බලන්නකෝ මගේ කිරිපැටියා.... මගේ මැණික මාව දාලා ගිහින්. මගේ මැණික දාලා ගිහින් දෙයියනේ... දැන් මොකට ද ඕවා.. මගේ මැණික එන්නේ නෑනේ. මගේ අම්මව උඳුරගත්තා මගෙන්." පුංචි දියණියගේ වියෝව දරාගත නොහැකිව ඇඟේ මව හඬා වැළපෙමින් එලෙස පවසන්නට වුවාය.
මියගිය දැරියගේ දේහය මේ වන විට හබරණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට නියමිතව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |