ඉදිරියේ දී සිලි බෑග්වලට වෙන්න යන අලුත් වැඩේ
විකල්පයක් පැවතිය ද නැති වුව ද ඉදිරියේදී 'සිලි සිලි බෑග්' තහනම ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
මෙරට ප්‍රධාන වෙළෙඳ ජාල දෙකක් මගින් පමණක් වසරකට ෂොපිං බෑග් කෝටි 2ක් පරිසරයට මුදා හැරෙන බව ද ඇමතිවරයා කීය.
වසරකදී රුපියල් කෝටි 96ක ‘සැෂේ’ පැකට් මෙරට ජනතාව පාවිච්චි කළ බව හෙළි වී ඇතැයි ද එය ප්‍රමාණයෙන් බැලූ කල බිලියන ගණනක් වන බව ද ඔහු අවධාරණය කළේ ය.
පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච් ෂීට් මිලියන 15ක් එක් දිනක් තුළ පරිසරයට බැහැර කෙරුණු බව ද හෙතෙම කීය.
එම ප්‍රමාණය ගණන් බැලූ විට වසරකට ලන්ච් ෂීට් මිලියන 5475ක් පරිසරයට බැහැර කෙරෙන බවද ඇමතිවරයා පැවසීය.
එක් වරක් පමණක් භාවිත කරන මේ නිෂ්පාදිත ද්විත්වය ම තහනම් කළ නිසා මේ වන විට ඒවා පරිසරයට එක් නොවන බව ද ඔහු සඳහන් කළේ ය.
පරිසරයට හානි කරන මේ සියල්ල වළක්වා නොගතහොත් රටේ දරුවන්ගේ අනාගතය අඳුරු වන බවද ආශ්වාස කිරීමට පිරිසුදු වාතය හෝ පානය කිරීමට පිරිසුදු ජලය බිඳක් හෝ සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බව ද හෙතෙම පැවසීය.
නොදිරන ලන්ච් ෂීට් හා සැෂේ පැකට් තහනම සාර්ථක වීම පාරිසරික වශයෙන් ලැබූ ජයග්‍රහණයක් බව ද පරිසර අමාත්‍යවරයා කීය.
පරිසර අමාත්‍යවරයා ලෙස මේ සම්බන්ධව සිදුකළ පසු විපරමකදී මේ වන විට වෙළෙඳපොළේ ‘සැෂේ පැකට්’ අලෙවිය හෝ නිෂ්පාදනය සිදු නොවන බවත්, නොදිරන ‘ලන්ච් ෂීට්’ අලෙවි නොකරන බවත්, හෙළි වූ බව ද ඔහු සඳහන් කළේ ය.
ලෝකය පුරා බෙදා හරින සැෂේ පැකට් ප්‍රමාණය බිලියන 885ක් බවත් එක් බහු ජාතික සමාගමක් පමණක් වසරකට සැෂේ පැකට් බිලියන 40ක් නිෂ්පාදනය කරන බවත් හෙතෙම සඳහන් කළේ ය.
ඉකුත් දා තංගල්ලේදී ගැබිනි මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් බෙදා දීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |