"ඉදිරි සති 2 රට ම අඳුරේ'' - විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

trending news gagana news sri lanka sinhala news power cuts
By krishani Jan 15, 2022 07:43 AM GMT
krishani

krishani

Report

ඉදිරි සති දෙක තුළ විදුලිය නොමැතිකමින් මුළු රට ම අඳුරේ පවතින තත්ත්වයක් අනිවාර්යයෙන් ම නිර්මාණය වීම නොවැළැක්විය හැකි යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර නොගෙන, විදුලිබල මණ්ඩලය, විදුලිබල පනත උල්ලංඝණය කරමින් සිටින බව ද රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ ය.

ඉදිරියේදී ඇති විය හැකි මෙම තත්ත්වය මත කොවිඩ් වසංගතය නිසා රට වසා දැමීමෙන් රටේ ආර්ථිකයට සිදුවූ හානියට වඩා වැඩි හානියක් ඇති වන බව පැවසූ රන්ජන් ජයලාල් මහතා කර්මාන්තශාලා, රජයේ කාර්යාල, පෞද්ගලික අංශයේ ආයතන සියල්ල අකර්මණ්‍ය වී සේවකයන්ට නිවෙස්වල ගතකිරීමට සිදුවන බව ද පැවසීය.

1969 අංක 16 දරන පනත යටතේ ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට අඛණ්ඩව විදුලිබලය සැපයීමට බැඳී සිටින බව පෙන්වා දෙන ජයලාල් මහතා, විදුලිබල මණ්ඩල බලධාරීන්, එය නොසලකා කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

ජනතාව පාවිච්චි කරන විදුලියට බිල ගෙවනවා නම් මණ්ඩලය විදුලිය කපන වෙලාවට ජනතාවට වන්දි මුදලක් ගෙවිය යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

මේ තරම් දරුණු විදුලි අර්බුදයක් පවතිද්දී ත්, විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩර් වංචා තවමත් සිදුවෙමින් පවතින බවට ද ජයලාල් මහතා චෝදනා කළේ ය.

මේ ගැන කළ විමසීමේදී විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති පැවැසුවේ ,පැය 24ක විදුලි කප්පාදුවක් ගැන පළ කරන අනාවැකි මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බව ය.

විදුලි බලයේ අර්බුදයක් ඇති බව ත් අවශ්‍යතාව අනුව විදුලි කප්පාදුවක් සිදු කරන අතර ම එය විසඳා ගැනීමට ක්‍රමානුකූලව පියවර ගන්නා බව ද ධර්මකීර්ති මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now