වැටුප් ප්‍රශ්නේ නිසා විදුහල්පති සේවයට නොයා හිටපු ගුරුවරුන්ට සුබ ආරංචියක් - මේ අයත් ගුරු සේවයට බඳවා ගන්න සූදානමක්
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා සහ ඒ නිසා ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පත් කිරීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව මෙම කරුණු සාකච්ඡා කර තිබෙන්නේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත් දා රැස්වූ අවස්ථාවේ දීයි. 2014 ඔක්තෝබර් 22 දින නිකුත් කළ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම උසස්වීමක් වශයෙන් නොව “නව පත්වීමක්” වශයෙන් සැලකීම නිසා ඇති වී තිබෙන වැටුප් විෂමතාව පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වී ඇත.
එහිදී නිලධාරීන් පැවසුවේ ගුරු සේවයේ 1 වන ශ්‍රේණියේ සිට විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට පත්වීමේදී වැටුප් වර්ධක අතර පවතින විශාල වෙනස හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවයි.
එමෙන්ම 03/2014 චක්‍රලේඛය මඟින් විදුහල්පති සේවයට පත් වන අවස්ථාවේ ඇතිවන වැටුප් වෙනස පියවීමට ගැලපුම් දීමනාවක් ලබා දී තිබුණ ද, සේවා කාලය ඉදිරියට යාමේදී ගුරු සේවයේ රැඳී සිටියා නම් හිමිවන ඉහළ වැටුප් වර්ධක නොලැබීම නිසා නැවතත් වැටුප් පරතරයක් ඇතිවන බව ද නිලධාරීන් පෙන්වා දී ඇත.
එබැවින් ගුරු සේවයේ 1 වන සහ 2-I ශ්‍රේණිවල සිටින ජ්‍යෙෂ්ඨ හා පළපුරුදු ගුරුවරුන් විදුහල්පති විභාගයට පෙනී සිටීමට සහ විදුහල්පති සේවයට පිවිසීමට අධෛර්යමත් වන තත්ත්වයක් පවතින බවද සාකච්ඡා විය.
එබැවින් ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පිවිසීම “නව පත්වීමක්” වෙනුවට “උසස්වීමක්” වශයෙන් සැලකෙන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත.
මේ අතර ගුරු සේවයේ උසස්වීම් ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර කමිටුව විසින් පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාලයකින් පත්වීමක් ලබා පැමිණෙන නව ගුරුවරයෙකුට ගුරු සේවයේ 1 වන ශ්‍රේණිය දක්වා පැමිණීමට වසර 19ක පමණ සේවා කාලයක් ගතවන බවයි.
එසේම අධ්‍යාපනවේදී (B.Ed) උපාධිධාරීන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට සෘජුව බඳවා ගැනීම පිළිබඳවද අවධානය යොමු කර ඇත. මේ අතර, 2030 වසර දක්වා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට පෙර පැවැති ක්‍රමවේදයට අනුව ගුරු පත්වීම් ලබා දීම පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ වාචිකව එකඟතාවකට පැමිණ ඇති බව ද මෙහිදී අනාවරණය විය.
ඒ අනුව, මෙම වසර තුළ B.Ed උපාධිධාරීන් ගුරු සේවයේ 2 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. අඳාළ බඳවා ගැනීම් දැනට පැවැත්වෙන 23,000ක ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් නොකර, පළාත් මට්ටමින් පවතින විෂයානුබද්ධ පුරප්පාඩු පදනම් කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද සාකච්ඡා වී ඇත.
එසේම පාසල් පද්ධතියේ පවතින සැබෑ විෂය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි B.Ed උපාධි පාඨමාලා යාවත්කාලීන කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට 2030 දක්වා කාලය ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙන අතර විශේෂයෙන් විද්‍යාව, ගණිතය සහ ප්‍රාථමික අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂිත B.Ed පාඨමාලා හඳුන්වාදීමේ අවශ්‍යතාව ද මෙහිදී කමිටුව විසින් පෙන්වා දී ඇති බව සඳහන්.
ලේ විලක් මැද නිහඬ වූ ජීවිතවලට වසර 7කට පසු දුන් අවසන් පිළිතුර - වින්දියන් හඬා වැටෙද්දි විත්තිකරුවන් සිනාමුසු මුහුණින් අධිකරණයෙන් පිටතට
තවද දකුණු පළාතේ රසායනාගාර සේවකයින් සහ මුරකරුවන් 261 දෙනෙකු සඳහා වැඩිපුර ගෙවා තිබූ වැටුප් අයකර ගැනීමේ ගැටලුව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වූ අතර 2008-2009 වර්ෂවලදී අදාළ වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් පියවර වෙනුවට 12 වන වැටුප් පියවරේ පිහිටුවීම නිසා රුපියල් මිලියන 50.8ක පමණ වැඩිපුර වැටුප් ගෙවා ඇති බව මෙහිදී හෙළි වී ඇත.
ඉකුත් 2016 වසරේදී මෙම කරුණ හෙළි වී ඇති අතර, 2022 වසරේදී ඒ පිළිබඳ විගණන විමසුමක් මඟින් විමසා ඇති බවත්, මේ වන විට වැටුප් වර්ධක අත්හිටුවීම සහ වැටුපෙන් අයකර ගැනීමෙන් රුපියල් මිලියන 15.1ක මුදලක් අයකරගෙන ඇති බවත් පවසයි.
අඳාළ පරිපාලනමය දෝෂයට සේවකයින් සෘජුව වගකිව යුතු නොවන බවත්, ඔවුන් වෙත නිකුත් කළ පත්වීම් ලිපිවල නිශ්චිත වැටුප් තලයක් සඳහන් කර තිබූ බවත් මෙහිදී පැමිණි පිරිස විසින් පෙන්වා දී තිබෙනවා.
එබැවින් සේවකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ සාධනීය මැදිහත්වීම ලබාගැනීමට ඔහුගේ අවධානයට ලිපියක් යොමු කිරීමටද කාරක සභාව තීරණය කර ඇත.