22 වැනි සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පක්ෂවලට විශේෂ ඉල්ලීමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම හෘදය සාක්ෂියට අනුව අදහස් ප්‍රකාශ කිරීමට සහ ඡන්දය භාවිත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් මෙම ඉල්ලීම සිදුකර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120, 121 සහ 123 වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇත්තේ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේදී සපුරාලිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතා සම්බන්ධයෙන් තීරණය කිරීමේ අධිකරණ බලය බව එම සංගමය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය අනුව අදාළ පනත් කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍යද යන්න තීරණය කිරීම එම අධිකරණ බලයට ඇතුළත් වන බවද සඳහන් කර තිබේ.
වැටුප් ප්‍රශ්නේ නිසා විදුහල්පති සේවයට නොයා හිටපු ගුරුවරුන්ට සුබ ආරංචියක් - මේ අයත් ගුරු සේවයට බඳවා ගන්න සූදානමක්
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මඟින් යෝජිත සංශෝධනය සාධනීයද, සුදුසුද හෝ එය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුද යන්න පිළිබඳ දේශපාලන හෝ ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වසර 48ක ඉතිහාසය තුළ, ව්‍යවස්ථානුකූල අවශ්‍යතා සපුරාලමින් සිදුකළ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ සංශෝධන කිහිපයක් පැවති බවද නීතිඥ සංගමය සිහිපත් කරයි.
එබැවින් 22 වැනි සංශෝධනය සම්මත කළ යුතුද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමේ වගකීම මේ වනවිට පාර්ලිමේන්තුවට මෙන්ම ඒ සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කරන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරී ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මේ අතර, යෝජිත සංශෝධනය හඳුන්වාදීමේදී ප්‍රමාණවත් විනිවිදභාවයක් සහ විධිමත් උපදේශන ක්‍රියාවලියක් නොතිබූ බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, කතෝලික රදගුරු සම්මේලනය, වෘත්තීය සමිති සහ සංගම් 40කට අධික සංඛ්‍යාවක් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවධානය යොමු කළ යුතු බව එම සංගමය සඳහන් කරයි.
අවසානයේදී, ජනතාවගේ නියෝජිතයන් ලෙස තම ව්‍යවස්ථාමය වගකීම සහ ශ්‍රී ලංකාවේ ස්වෛරී ජනතාව වෙත ඇති යුතුකම සැලකිල්ලට ගනිමින්, පක්ෂ භේදවලින් තොරව ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිට කටයුතු කරන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබේ.