කෑවෝ කෑවෝ කියලා මහ හයියෙන් කෑ ගැහුවා.කුප්පි ලාම්පු එළියෙන් දැක්කේ - නරියෙකුගේ සපා කෑමෙන් කාන්තාවක් මරණයට

trending news gagana news sri lanka sinhala news today hot news a woman dies
By krishani Jan 13, 2022 04:10 AM GMT
krishani

krishani

Report

 නරියකුගේ සපා කෑමට ලක් වූ කාන්තාවක් කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවැසීය.

මියගොස් ඇත්තේ බේරුවල වලතර වෙදගොඩලන්ද කොස්ගහවත්ත සුසාන භූමි රක්ෂිතයේ ඉටිකොළවලින් ආවරණය කරන ලද කුඩා පැල්පතක පදිංචිව සිටි පී.ඒ. රූපලතා නමැති (54) දෙදරු මවකි.

පැල්පත වටා ආවරණය කර තිබූ ඉටිකොළ අතරින් මීට දින 45කට පෙර දිනක මැදියම් රැයේදී පැල්පතට කඩා වැදුණු නරියකු පැදුරක් මත නිදා සිටි මෙම දෙදරු මවගේ පාද දෙකේම විළුඹ ප්‍රදේශයේ සපා කා තිබූ අතර ඊට නිසි අයුරින් ප්‍රතිකාර කර නොතිබූ බව අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

ඉකුත් 09 වැනිදා මෙම දෙදරු මවට ජලභීතිකා රෝග ලක්ෂණ පහළ වී ඇත. ඇයගේ පුතුන් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇය ඇතුළත් කිරීමෙන් අනතුරුව දිනකට පසු මියගොස් තිබූ බවද ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

බේරුවල, වලතර, වෙදගොඩ ප්‍රදේශයේදී නරියකුගේ හෝ සුනඛයකුගේ සපා කෑමට ලක් වූ අය වෙතොත් නොපමාව එන්නත් ලබා ගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලයි.

ඒ වගේම නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයන් වෙතොත් එම සතුන්ටද වහා එන්නත් කර ගන්නා ලෙසත් වෛද්‍ය අධ්‍යක්ෂවරයා කීය.

ඊයේ (12දා) වෙදගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් දැනුවත් කර ස්ථාන හතරකදී ජංගම එන්නත්කරණය කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එම කාන්තාව පදිංචිව සිටි කුඩා පැල්පත නිරීක්ෂණය කිරීමට තමා සමඟ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජීවන්ත සිංහබාහු, වසංගත රෝග විද්‍යාඥ තුෂාර වාස් ගුණවර්ධන මහත්වරුද එක් වූ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

මියගිය කාන්තාවගේ පුතකු වන රනේශ් කුමාර සිද්ධිය විස්තර කරමින් මෙසේ පැවැසීය.

මමයි, අම්මයි, විවාහ වී සිටින අයියයි, එයාගේ නෝනයි, දරුවයි අපි සියලු දෙනාම පදිංචිවෙලා ඉන්නේ ලන්ද කොස්ගහවත්ත සුසාන භූමියේ රක්ෂිතයේ ඉටි කොළවලින් පැලක් අටවගෙනයි. මීට දින 45කට විතර පෙර, අපි සියලු දෙනාම නිදාගෙනයි හිටියේ. රාත්‍රියේදී කෑවෝ කෑවෝ කියලා මහා රාත්‍රියේ කෑ ගසනවා ඇසුණා. මම කුප්පි ලාම්පුවේ එළියෙන් දැක්කා විශාල නරියෙක් අම්මගෙ කකුල හපනවා. ඒ වගේම ඌ ඇය ඇදගෙන යන්න උත්සාහ කරනවා දැක්කා. මට හිතාගන්න බැරි වුණා මොකක්ද කරන්නේ කියලා. ළඟ තිබ්බ හිරමනෙන් මම නරියාට ගැහුවා. නරියා පැල්පතෙන් පිටතට දුවලා ගියා. අම්මගේ කකුල් දෙකෙන්ම ලේ ආවා. අම්මා එච්චර ගනන් ගත්තේ නෑ. මට අමාරු නෑ පුතේ කියලා කිව්වා. පසුදින මම අම්මත් සමඟ බේරුවල රෝහලට ගියා. කොරෝනා හින්දා රෝගියා පමණයි ඇතුළට රෝහල ගත්තේ. අම්මා බෙහෙතුත් අරගෙන ආවා. නමුත් නරියෙක් කෑ බව පවසලා නෑ. ටික දිනක් යනකොට අම්මගෙ කකුල් දෙකේම තුවාල සනීප වුණා. ඒ ඉන්න අතරේ මීට දින දෙක තුනකට ඉහතදී අම්මාගේ සිරුර එකපාරම ගැහෙන්න පටන් ගත්තා. තොල් දෙක පැත්තට ගියා. එයාව අල්ලන්නවත් දුන්නෙ නැහැ. එයාට වතුර ගිලින්නවත් බැහැ කියලා කීවා. ඒත් අම්මා අපි සමඟ කිව්වා පුතේ මගේ පණ හයියයි කියලා. පුතේ උඹලා බය වෙන්න එපා කියාත් කීවා. මමයි, අයියයි අම්මව කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන ඇවිල්ලා ‍දොස්තර මහත්වරුන්ට විස්තරය කිව්වා. ඒත් අපේ අම්මා අපිව දාලා ගියා."

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now