බූස්ටර් එන්නත ගත්තොත් මරණයෙන් බේරිය හැකියි - වෛද්‍ය විශේෂඥයින් පවසයි.

#sinhala news in sri lanla#sri lanka sinhala news#today hit news#covid#Vaccination is global#Booster vaccine###
By krishani Jan 06, 2022 10:26 AM GMT
krishani

krishani

Report

බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාගැනීමෙන් කොවිඩ් මරණ සිදුවීමේ අවස්ථාව 90%කින් පහළයන බව අමෙරිකාව පවසයි. අමෙරිකානු වසංගත රෝග පාලන සහ නිවාරණ ආයතනය ඒ පිළිබඳව සවිස්තර ව හෙළිකර තිබේ.

එම ආයතනය අනාවරණය කර ඇත්තේ, ඩෙල්ටා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වී ඇති බවය. පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වූ පිරිස් බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීමෙන් කොවිඩ් වැලඳීමට ඇති අවස්ථාව 10 ගුණයකින් අවම වන බවත්, 60ට වැඩි පිරිස අසාධ්‍යව රෝහල්ගතවීමේ අවස්ථාව 18 ගුණයකින් පහළ යන බවත් මෙහිදී හඳුනාගෙන තිබුණි.

එමෙන්ම බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීමෙන් වයස අවුරුදු 40ත් 59ත් අතර පිරිස බරපතළව රෝගීවීමට ඇති අවස්ථාව 22 ගුණයකින් පහළගොස් ඇති බවත් එහි දැක්වෙයි. අමෙරිකානු වසංගත රෝග ප්‍රධානීන් පුරෝකථනය කර ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් ද මෙම ප්‍රතිඵල සමාන වනු ඇති බවය. ඊයේ (05) පමණක් ලොවපුරා වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 25 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

ගෙවුණු දිනයේදීත් අමෙරිකාවෙන් ලක්ෂ 6 ඉක්මවා කොවිඩ් ආසාදිතයින් හඳුනාගැණුනි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති නිව්යෝර්ක් නගරයේ රෝහල් සිය උපරිම ධාරිතාවෙන් 80%ක් පිරීගොස් ඇති බවය.

කෙසේ නමුත් පෙර අවස්ථාවන්ට සාපේක්ෂව මෙවර කොවිඩ් රෝගීන් රෝහල්ගතවීමේ අවස්ථා පහළගොස් ඇති බවද මේ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි. ඔමික්‍රොන් වේගවත් ව්‍යාප්තිය සලකා ලෝ ප්‍රකට රියෝ වීථි සැණකෙළිය හා සමගාමී සාද මෙවරත් අවලංගු කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් විය.

වසංගත ව්‍යාප්තිය නිසා රියෝ වීථි සැණකෙළිය පසුගිය වසරේදීත් පැවැත්වුණේ නැහැ. කෙසේ නමුත් රියෝ සම්බා පාසල මගින් පවත්වන පෙරහැර මෙවරත් පැවැත්වීමට ඔවුන් සූදානමින් පසුවෙයි.

එමෙන්ම කොවිඩ් අවදානම සලකා සාවෝ පාවුලෝ හි සුප්‍රකට සැණකෙළියත් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබේ. මේ අතර, ඉන්දියාවේ මුම්බායි සහ නවදිල්ලි ඇතුළු නගර රැසක කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළගොස් තිබුණි.

ගෙවුණු පැය 24 තුළ එම නගරවලින් වාර්තාවූ ආසාදිතයින් ගණන 25,000 ඉක්මවා ගොස් තිබේ. ඉන්දියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තාවූයේද මෙවන් පසුබිමකය. මේ අතර, පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන්වූ 2021 වසරේ අවසාන සතිය තුළ එංගලන්තයේ සෑම පුද්ගලයින් 15දෙනෙකුගෙන්ම එක් අයෙක් කොවිඩ් ආසාදිතව පසුවී ඇතැයි අනාවරණය වී තිබුණි.

ඉන් වැඩිම ආසාදිතයින් ලන්ඩන් නුවරින් වාර්තාවූ අතර එම සතිය තුළ එම නගරයේ සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකුම කොවිඩ් ආසාදිතයෙක් ව සිටි බවද වාර්තා විය. ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයෙන් කොවිඩ් ආසාදිතයින් 332,000කට ආසන්න පිරිසක් වාර්තා වුණි. බලධාරීන් අනාවැකි පළකරන්නේ ඉදිරි දින කිහිපයේදී එරට තුළ අධි වේගයකින් වෛරස ආසාදිතයින් වාර්තාවනු ඇති බවය.

මේ අතර පෝලන්තයේ ජනාධිපති අන්ද්‍රේ ඩූඩා ට නැවතත් කොවිඩ් වැලඳී ඇති බව වාර්තා වෙයි. 49 හැවිරිදි ජනාධිපතිවරයාට 2020 වසරේ ඔක්තෝබර් මාසයේදීත් කොවිඩ් වැලඳුණි. ජනාධිපතිවරයා පූර්ණ වශයෙන් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්ව බූස්ටර් මාත්‍රාව පවා ලබාගත් අයෙකුවීම විශේෂත්වයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now