තවත් දැවැන්ත විරෝධයක්
2020 – 2024 විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් නොදීමට විරෝධය පළ කරමින් විශ්‍රාමික දිනය දා කොළඹදී පන්දම් දල්වා නිහඬව අප්‍රසාදය පළ කරන බව 20-24 විශ්‍රාමික එකමුතුව සඳහන් කරයි.
2020-2024 විශ්‍රාමිකයන් 2025 අය-වැයෙන් වැටුප් විෂමතාවකට මුහුණ දී ඇතැයි කී සංගමයේ සභාපති මාලික විමලසූරිය මහතා 2026 අය-වැයෙන් එය නිවැරැදි කරන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇතැයි සඳහන් කළේය.
බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට ඇල්විටිගල මාවත ආසන්නයේදී ලබන 08 වැනිදා පස්වරු 4.00 සිට 7.00 දක්වා පන්දම් දල්වාගෙන උද්ඝෝෂණයේ යෙදෙන බව ද සභාපතිවරයා කීවේය. මෙම විරෝධතාවට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල 20-24 කාලයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවන් සහභාගී වීමට නියමිත බව සඳහන්.
2026 අය-වැය යෝජනා සකස් කරමින් පවතින මේ මොහොතේ ආණ්ඩුව විශ්‍රාමික ප්‍රශ්නය පිළිබඳව නෑසූ කන්ව සිටින බවත්, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ඇස් අරවා ගැනීමට විශ්‍රාමික දිනය පන්දම් විරෝධයකින් සැමරීමට තීරණය කළ බවත් ඔහු කීවේය.
20-24 විශ්‍රාමිකයන් අතිශය දුෂ්කර කාලයක භාණ්ඩ හා සේවා මිල ඉහළ යද්දී උද්ධමනයට සරිලන සේ මූලික වැටුපේ වැඩි වීමක් නොමැතිව සේවය කර, කාලයට නොගැළපෙන විශ්‍රාම වැටුපක් සහිතව රාජ්‍ය සේවයට සමුදුන් කණ්ඩායමක් බවද සඳහන්.
2025 අය-වැය මඟින් රාජ්‍ය සේවයේ මූලික වැටුප සියයට 70-80 අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමෙන් 20-24 කණ්ඩායමට අඩු මූලික වැටුපක් යටතේ විශ්‍රාම යෑමට සිදුවූ බවද සභාපතිවරයා කීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළද සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැතැයි කී හෙතෙම මැයි 02 සහ සැප්තැම්බර් 02 දිනවල පැවැත් වූ උද්ඝෝෂණවලදී ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබාදුන් පොරොන්දු නිර්දය ලෙස කඩකර ඇතැයි ප්‍රකාශ කළේය.