සමාජ මාධ්‍ය කැලඹූ සංගීත ප්‍රසංග තහනම බොරු - තහනම් සංවිධාන උත්කර්ෂයට නැංවූවොත් වැඩ වරදියි

Report

තහනම් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කරන අන්තර්ගතයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සමාජ මාධ්‍යවල පැතිර යන නොමඟ යවන තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ විනෝදාස්වාද උත්සවවල සංගීත සංදර්ශන සඳහා සම්පූර්ණ තහනමක් පැනවීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රකාශ අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

අදාළ සිද්ධියට සම්බන්ධව කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු ජුනි 2 වන දින අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මැයි 31 වන දින චාවකච්චේරි නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී ගායනා කරන ලද ගීත දෙකක් සංස්කරණය කර තහනම් එල්ටීටීඊ සංවිධානය උත්කර්ෂයට නංවන ආකාරයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රචාරය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

උතුරේ මියගියවුන් ගැන සින්දුවක් හැදූ සංගීතඥයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට

උතුරේ මියගියවුන් ගැන සින්දුවක් හැදූ සංගීතඥයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට

යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම පටිගත කිරීම් හිතාමතා සංස්කරණය කර තහනම් සංවිධානයට සහාය දක්වන අන්තර්ගතයන් ඇතුළත් කර අන්තර්ජාලය ඔස්සේ පුළුල් ලෙස බෙදාහැර ඇති බවයි

සැකකරු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3(G) වගන්තිය යටතේ ජුනි 3 වන දින චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ජුනි 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අදාළ නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමක් වන බවත්, සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරු මත නොමඟ නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය. 

Gallery