භයානක බලපෑමක් ඇතිකරන පසු Covid තත්ත්වයේ බලපෑම හා ලක්ෂණ මොනවාද..මේ ගැන ඔබ දැන සිටියාද..?
කොවිඩ් - 19 රෝගය වැලඳෙන ඇතැම් අය දින කිහිපයකින් ද, බොහෝ දෙනෙක් සති කිහිපයක් ඇතුළත ද නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වේ. එසේ වුවත් සමහර ආසාදිතයින්ට යළි සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාසයකටත් වඩා ගතවන අවස්ථා ද දක්නට ඇත. මෙම තත්ත්වය, පසු කොවිඩ් සංකූලතා තත්ත්වයන් ලෙසින් හැඳින්වෙයි. මෙහි වැදගත්ම කාරණය වන්නේ කෝවිඩ් ආසාදනයෙන් දරුණු ලෙස රෝගී තත්ත්වයට පත්වූ පුද්ගලයන් මෙන්ම ඉතා සුළු රෝග ලක්ෂණ දැක්වූ හා කිසිදු රෝග ලක්ෂණයක් නොදැක් වූ පුද්ගලයන්ට පවා මෙම තත්ත්වය ඇතිවීමේ ඉඩකඩක් තිබීමය.
ඉහත කී පසු කොවිඩ් තත්ත්වයේදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වන්නේ,
- හුස්ම ගැනීමේ අපහසුතාව,තෙහෙට්ටුව
- අවධානය පවත්වාගෙන යාමේ අපහසුතාව මෙම තත්ත්වයන් බහුලව දකින්නට ලැබෙන අතර එයට අමතරව,
- ශාරීරික හෝ මානසික වෙහෙසීමකින් පසු අපහසුතාවය වැඩිවීම
- කැස්ස
- විටින්විට වේගවත් වන හෘද ස්පන්දනය
- පපුවේ හෝ උදරයේ වේදනාවන්
- හිස කැරකැවිල්ල
- මාංශ පේශි හා හන්දිපත් වේදනාව
- නින්ද යෑමේ අපහසුතා
- ගඳ සුවඳ දැනීමේ වෙනස්කම්
යනාදී විවිධ රෝග ලක්ෂණ ගණනාවක් මේ වනවිට පසු කොවිඩ් තත්ත්වයට අදාළව වාර්තා වී තිබේ. කොවිඩ් ආසාදනය සුවවූ පසුවත්, නොයෙක් ශාරීරික සහ මානසික අපහසුතාවන් පැවතීම රෝගය වැලඳුනු පුද්ගලයින් අතරේ දැකිය හැකි තත්ත්වයකි. බොහෝ විට මෙම රෝග ලක්ෂණ කාලයත් සමග ක්‍රමයෙන් අඩුවී යයි. මෙහිදී ඉතාමත්ම වැදගත් වන්නේ හැකි උපරිමයෙන් විවේක ගැනීමය. අනවශ්‍ය ලෙස ශරීරය හා මනස වෙහෙසට පත්කිරීම රෝග ලක්ෂණ වැඩිවීමට හේතුවක් වෙන්නට පුළුවනි.
අපහසුවක් නැතිව කළ හැකි පමණින් එදිනෙදා වැඩ කටයුතුවලට ක්‍රම ක්‍රමයෙන් පිවිසීම කළ යුතුයි. සාමාන්‍යයෙන් බර වැඩවල නිරතවූ කෙනෙකු පවා එක්වරම එයට යොමු නොවී පියවරෙන් පියවර තම ක්‍රියාකාරකම්වල තීව්‍රතාවය වැඩි කරමින් තමන්ට දරාගත හැකි මට්ටමෙන් පමණක් වෙහෙසවීමට වගබලාගත යුතුයි. මෙම කාලය හැකි පමණ විවේකයෙන් සිත සැහැල්ලුවෙන් ගත කිරීම ඉක්මනින් ශරීර සෞඛ්‍යය යථා තත්ත්වයට පත්වීමට උපකාරී වනවා ඇත.
කෙසේවුවත් මෙම රෝග ලක්ෂණ කොවිඩ් -19 තත්ත්වයට අදාළ නොවන වෙනත් රෝග නිසාද ඇතිවෙන්නට පුළුවනි. ඇතැම්විට එවැනි තත්ත්වයක් පවතීදැයි ඔබට තනිවම හඳුනාගැනීම අපහසුවෙන්නත් පුලුවනි. කොවිඩ් සුවවීමෙන් පසුව, ඉහත කී රෝග ලක්ෂණ හෝ වෙනත් අපහසුතා තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකථන අංකය මේ වෙනුවෙනුත් පැය 24 පුරාවට විවෘතව පවතී. ඕනෑම රෝගයක සංකූලතා වළක්වා ගැනීමේ වදගත්ම ක්‍රමය වන්නේ, එම රෝගයෙන් හැකි උපරිමයෙන් ආරක්ෂාවීමට කටයුතු කිරීමය. නව කොරෝනා වෛරස ආසාදනයටත් එය එයාකාරයෙන් ම වලංගුය.
ආසාදන අවදානම අවම කරගන්නට නම්, බෝ වීමේ ඉහළ හැකියාවක් ලබාගෙන සිටින විකෘති වෛරස ප්‍රභේදයක් පැතිරයන අවස්ථාවක, ආරක්ෂිත හැසිරීම් වෙනදාටත් වඩා සැලකිල්ලෙන් පවත්වා ගත යුතුය. වයෝවෘද්ධ පුද්ගලයන්ට මෙන්ම කොවිඩ් ආසාදනයෙන් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වූ තරුණයින් අතරේ ද මෙම පසු සංකූලතා දක්නට ලැබෙන බවට සාක්ෂි පවති.
එන්නත ලබාගැනීම මගින් මෙම පසු කෝවිඩ් සංකූලතා ඇතිවීමේ අවදානම බොහෝ දුරට අඩුවන බවත් මේ වනවිට සොයාගෙන තිබේ. කොවිඩ් ආසාදනය නිසා දිවි අහිමි වූ ශ්‍රී ලාංකිකයින් අතරින් වයස 30ට අඩු අය සිටින්නේ සියයකට ආසන්න සංඛ්‍යාවකි. එය ප්‍රතිශතයක් ලෙසට කුඩා වූවත් රෝගය දරුණුවීමේ සම්භාවිතාවක් එම වයස් කාණ්ඩයටත් ඇති නිසාත්, ආසාදනය සුව වූ පසු මෙවැනි පසු සංකූලතා ඇති විය හැකි නිසාත්, එවැනි අපහසුතා හැකිතාක් අවම කරගැනීමට තරුණ ප්‍රජාව පවා එන්නත ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ මේ වනවිට වයස අවුරුදු 20ට වැඩි ජනගහනය අතුරින්, එකදු එන්නතක් හෝ ලබා නොගත් පිරිස සිටින්නේ 7% කට වඩා අඩු ප්‍රතිශතයකි. සිදුවෙමින් පවතින සීග්‍ර එන්නත්කරණ ක්‍රියාවලියට හැකි උපරිමයෙන් සහයෝගය දීමෙන් හා රෝග ව්‍යාප්තිය අවමකිරීමේ පිළිවෙත් නිවැරදිව ක්‍රියාවට නැංවීම තුළින් කොවිඩ් ආසාදනයේ විවිධ වූ සංකූලතා සමාජය තුළ දක්නට ලැබීම අවම කරගැනීමට අපට හැකි වෙයි. උපුටා ගැනීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |