කටුනායක කළඹමින් වෙඩි තැබීමක්

Report

කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පොලිස් නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

පොලිසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු ලුහුබැඳ ගොස් ඇති අතර, දැවමොට්ටාව ප්‍රදේශයේදී ඔහු නතර කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේදී, එක් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒම සඳහා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත. එම අවස්ථාවේදී අනෙක් පොලිස් නිලධාරියා සමඟ සිටි සැකකරු ක්ෂණිකව ක්‍රියාත්මක වී නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන ඔහුට වෙඩි තබා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.