"මව්බිමට යන්න ගෙවන්න වෙන මිල මරණය නම් ඒකටත් මම සූදානම්" – මරණ දඬුවමට නියම වූ ෂේක් හසීනා ලබන දෙසැම්බරයේ යළි බංග්ලාදේශයට

Report

2024 වසරේදී බලයෙන් පහ කෙරුණු බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂේක් හසීනා, තමන්ට මරණ දණ්ඩනය නියම වී තිබියදීත් මරණ තර්ජනවලට බිය නොවී ලබන දෙසැම්බර් මාසයේදී යළි සිය මව්බිමට පැමිණීමට සූදානම් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

AFP පුවත් සේවය සමඟ පැවති විද්‍යුත් තැපැල් සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර ඇත්තේ අද (16) දිනයේදීයි. සිසුන් මුල් කරගත් දැවැන්ත ජනතා නැගිටීමක් හමුවේ වසර 15ක පාලනය අවසන් වීමෙන් පසු 2024 අගෝස්තු මාසයේදී ෂේක් හසීනා ඉන්දියාවට පලා ගියා.

විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකළ මාරාන්තික මර්දනකාරී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරමින් බංග්ලාදේශ අධිකරණයක් ඇය නොමැතිවම මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

"යළි බංග්ලාදේශයට පැමිණියහොත් මුහුණදීමට සිදුවිය හැකි අවදානම් පිළිබඳව මම හොඳින් දන්නවා. නමුත් මම මගේ තීරණය ගෙන අවසන්. කිසිදු මරණ තර්ජනයකට මාව මගේම රටෙන් ඈත් කර තැබිය නොහැකියි"යනුවෙන් ඇය AFP වෙත පවසා තිබෙනවා.

ඇයගේ මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ යළි බංග්ලාදේශයට පැමිණියහොත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බවට එරට බලධාරීන් අනතුරු අඟවා දින කිහිපයකට පසුවයි.

එමෙන්ම, තමන්ට එරෙහිව ලබාදුන් තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ කාලසීමාව ද අවසන් වී ඇති බැවින් තවදුරටත් නීතිමය පිළියම් නොමැති බව බංග්ලාදේශ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, 79 හැවිරිදි ෂේක් හසීනා මෙම නඩු විභාගයේ නීත්‍යානුකූලභාවය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වැටුප් ප්‍රශ්නෙන් බංග්ලාදේශය ඇවිලෙයි - කම්කරු නීති යටතේ කර්මාන්තශාලා 65 ක් දින නියමයක් නොමැතිව වසා දමයි

වැටුප් ප්‍රශ්නෙන් බංග්ලාදේශය ඇවිලෙයි - කම්කරු නීති යටතේ කර්මාන්තශාලා 65 ක් දින නියමයක් නොමැතිව වසා දමයි

ඉන්දියාවටත් චෝදනාවක්

ෂේක් හසීනා යළි බංග්ලාදේශයට භාරදෙන ලෙස ඩකා බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීම නීතිමය සමාලෝචනයකට ලක් කරමින් පවතින බව ඉන්දීය රජය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ මෙම ස්ථාවරය පරස්පර විරෝධී බව හසීනා පෙන්වා දෙනවා. "මාස ගණනාවක් තිස්සේ ඔවුන් මගේ නැවත පැමිණීම ඉල්ලා සිටියා. නමුත් දැන් මම නැවත පැමිණීමට ප්‍රායෝගික පියවර ගන්නා විට, මට ඉඩ ලබාදීමට වඩා මට තර්ජනය කිරීමට ඔවුන් වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙනවා" යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

දේශපාලන බලය රැකගැනීමේ උත්සාහයක්ද?

හසීනාගේ නැවත පැමිණීම පිළිබඳ ප්‍රකාශය ඇයගේ දේශපාලන බලපෑම තවදුරටත් පවත්වාගෙන යාමට සහ ආධාරකරුවන්ගේ සහාය රඳවා ගැනීමට දරන උත්සාහයක් විය හැකි බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

එක් කලෙක බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රබලතම පක්ෂයක් වූ ඇයගේ අවාමි ලීගය මේ වනවිට එරට තුළ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම තහනම් කර තිබෙනවා.

බංග්ලාදේශයේ නිර්මාතෘවරයා වන ෂේක් මුජිබර් රහ්මාන්ගේ දියණිය වන තමන්ට මරණ දණ්ඩනය නියම කර තිබියදීත්, තමන් ස්වේච්ඡාවෙන් යළි පැමිණීමට සූදානම් නම් ඉන්දියාවෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටින්නේ මන්දැයි ඇය ප්‍රශ්න කර තිබෙනවා.

පුද්ගලයෙකු වෙනත් රටකට භාරදීම ස්වෛරී රාජ්‍යයන් දෙකක් අතර පවතින කාරණයක් බවත්, ඉන්දියාව සිය නීති, ප්‍රතිපත්ති සහ ජාතික අවශ්‍යතා අනුව ඒ පිළිබඳ තීරණය කළ යුතු බවත් ඇය සඳහන් කර තිබෙනවා.

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න

]

දෙසැම්බරයේ යළි මව්බිමට පැමිණීමට සූදානම්

දූෂණ චෝදනා ඇතුළු තවත් චෝදනා රැසකට ද ෂේක් හසීනා මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, තමන්ට එරෙහිව අසත්‍ය නඩු 600කට අධික සංඛ්‍යාවක් ගොනු කර ඇති බවයි ඇය චෝදනා කරන්නේ.

මේ අතර, නවදිල්ලියේ පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය හරහා බංග්ලාදේශ විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා තම නීතිඥයින් අයදුම් කර ඇති බව ද ඇය අනාවරණය කර තිබෙනවා.

"දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට ආපසු යාම සඳහා මම දැනටමත් සූදානම් වෙමින් සිටිනවා. මට මිය යාමට අවශ්‍ය නැහැ. මට ජීවත් වීමටත්, දිගටම මගේ රටට සේවය කිරීමටත් අවශ්‍යයි.

නමුත් නැවත මව්බිමට යාම වෙනුවෙන් මට ගෙවීමට සිදුවන මිල මරණය නම්, එයට මුහුණ දීමටත් මම සූදානම්" යනුවෙන් ෂේක් හසීනා සිය සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල