ඔබ ළඟ ඇති ක්‍රිප්ටෝ මුදල් සහ මැණික් ඇතුළු වත්කම්වල බදු ගණනය ගැන අලුත් තීරණයක්
ක්‍රිප්ටෝ මුදල්, විකාශන බලපත්‍ර, මැණික්, ස්වර්ණාභරණ සහ නිශ්චල දේපළ ඇතුළු වත්කම් සඳහා ප්‍රාග්ධන ලාභ බද්ද ගණනය කිරීමේදී අදාළ වටිනාකම් තීරණය කිරීමට විධිමත් තක්සේරු මාර්ගෝපදේශ හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
2027 අයවැය මගින් ප්‍රාග්ධන ලාභ බද්දට යටත් වන වත්කම් පරාසය පුළුල් කරමින් ඩිජිටල් සහ අස්පෘශ්‍ය වත්කම් ද ඊට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇත.
ඩෙලොයිට් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ අයවැයෙන් පසු වෙබ් සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන මහතා මේ බව සඳහන් කර තිබේ.
ඔහු පෙන්වා දී ඇත්තේ නිල තක්සේරු ක්‍රමවේද නොමැතිවීම හේතුවෙන් ඉඩම් සහ ගොඩනැගිලි වැනි දේපළ සඳහා පවා 2017 සැප්තැම්බර් 30 වැනිදාට අදාළ වෙළෙඳපොළ වටිනාකම තීරණය කිරීමේදී විවිධ ගැටලු සහ මතභේද මතුව ඇති බවයි.
දැනට පවතින බදු නීති අනුව ඉඩම්, ගොඩනැගිලි සහ සමාගම් කොටස් ප්‍රධාන වශයෙන් ප්‍රාග්ධන ලාභ බද්දට යටත් වන අතර, පුද්ගලයන් සඳහා සියයට 15ක සහ සමාගම් සඳහා සියයට 30ක බදු අනුපාතයක් ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, 2027 අයවැය යෝජනා අනුව ක්‍රිප්ටෝ මුදල් ඇතුළු ඩිජිටල් සහ අතථ්‍ය වත්කම් මෙන්ම විදුලි සංදේශ හා විකාශන බලපත්‍ර, මැණික්, ස්වර්ණාභරණ සහ වටිනා ලෝහ ද බදු අය කළ හැකි ප්‍රාග්ධන වත්කම් අර්ථ දැක්වීමට ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බදු සංශෝධනය මගින් එක් එක් වත්කම් කාණ්ඩය සඳහා පැහැදිලි තක්සේරු ක්‍රමවේද නිකුත් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට නීතිමය බලය හිමිවන බව නිහාල් විජේවර්ධන මහතා සඳහන් කර ඇත.
එමෙන්ම, අතථ්‍ය වත්කම්වල මිල ගණන් නිරන්තරයෙන් වෙනස්වීම සහ අතීතයට අදාළ අස්පෘශ්‍ය වත්කම්වල වටිනාකම් තීරණය කිරීමේ දුෂ්කරතා හේතුවෙන් පැහැදිලි මාර්ගෝපදේශ කල්තියා ප්‍රකාශයට පත් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේදී අවධාරණය වී තිබේ.
සමාගම් ඒකාබද්ධ කිරීමේදී බදු පැහැරහැරීම් වැළැක්වීමටත් නව නීති මේ අතර, සමාගම් ඒකාබද්ධ කිරීම් සහ සමාගම් ඒකාබද්ධ කර ප්‍රතිසංවිධානය කිරීමේදී බදු පැහැරහැරීම් වැළැක්වීම සඳහා හඳුන්වාදීමට යෝජිත නව නීති සම්බන්ධයෙන් ද නිහාල් විජේවර්ධන මහතා කරුණු පැහැදිලි කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ බදු නීති තුළ සමාගම් ඒකාබද්ධ කිරීම් සම්බන්ධයෙන් නිශ්චිත විධිවිධාන නොමැතිවීම හේතුවෙන් ඒකාබද්ධ වන සමාගම්වලට පෙර පැවති ව්‍යාපාරික පාඩු ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතී.
කෙසේ වෙතත්, සාමාන්‍ය ව්‍යාපාරික අරමුණු මත සිදුකරන නීත්‍යනුකූල සමාගම් ප්රතිසංවිධානවලට බාධා නොවන අයුරින් කටයුතු කිරීමත්, බදු වාසි ලබාගැනීමේ අරමුණින් පමණක් සිදුකරන කෘත්‍රිම සමාගම් ඒකාබද්ධ කිරීම් වැළැක්වීමත් දෙපාර්තමේන්තුවේ අරමුණ බව ඔහු පවසා ඇත.
මෙම නව නීති සකස් කිරීමේදී පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කර සංකීර්ණ ව්‍යාපාරික ගනුදෙනු අනවශ්‍ය ලෙස අවහිර නොවන බවට වගබලා ගත යුතු බව ද ඩෙලොයිට් සාකච්ඡාවට එක්වූ විශේෂඥයන් පෙන්වා දී තිබේ.
බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීම ගැනත් අවධානය මේ අතර, 2027 වසරේදී මහජනතාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂමතාව මැන බැලීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ ප්‍රමාද වී ඇති ආදායම් බදු ආපසු ගෙවීම් නිරවුල් කිරීම බව ද නිහාල් විජේවර්ධන මහතා පිළිගෙන තිබේ.
සරල කළ එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය අහෝසි කර අවදානම් මත පදනම් වූ බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමෙන් පසුව, සාමාන්‍ය බදු ආපසු ගෙවීමේ කාලය දින 29ක් දක්වා අඩු කිරීමට දෙපාර්තමේන්තුව සමත්ව ඇත.
එය නීතියෙන් නියම කර ඇති දින 45ක කාලසීමාවටත් වඩා අඩු අගයකි. එමෙන්ම වසර දහයක් පමණ පැරණිව පැවති රුපියල් බිලියන 7ක බදු ආපසු ගෙවීම් ද නිරවුල් කර ඇති බව සඳහන් වේ.
තවද, 2027 අයවැය යෝජනා යටතේ අවම වශයෙන් සියයට 80ක අපනයන පිරිවැටුමක් සහිත නව අපනයන අභිමුඛ ව්‍යාපාර සඳහා ලියාපදිංචි වී මාස හයකට පසුව කඩිනම් වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රමයට ප්‍රවේශ වීමේ අවස්ථාව ලබාදීමට යෝජනා කර තිබේ.
ඊට අමතරව, විද්‍යුත් බදු ඉන්වොයිසි සඳහා නීතිමය පිළිගැනීමක් ලබාදීමට ද 2027 අයවැය මගින් යෝජනා කර ඇත.