යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න
හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා මැදපෙරදිග සිට සිදු කෙරෙන තෙල් ප්‍රවාහනය යුද ගැටුම්වලට පෙර පැවති මට්ටමට ආසන්න වෙමින් පැවතීම සහ එක්සත් ජනපදය තුළ වරායන් අතර ඉන්ධන ප්‍රවාහනය පහසු කිරීම සඳහා ගෙන ඇති නව පියවර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහත වැටී තිබෙනවා.
ඒ අනුව, සඳුදා දිනයේදී තෙල් මිල පහළ ගොස් ඇත්තේ ඉදිරි කාලයේදී ගෝලීය තෙල් සැපයුම ඉල්ලුම ඉක්මවා යනු ඇතැයි පවතින අපේක්ෂාවත් සමඟයි.
GMT වේලාවෙන් පෙරවරු 1.45 වන විට බ්‍රෙන්ට් (Brent) බොරතෙල් අනාගත ගනුදෙනු මිල බැරලයක් ඩොලර් 95.37ක් දක්වා ශත 47කින් හෙවත් 0.49%කින් පහත වැටී තිබුණා.
එමෙන්ම, එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල ද ශත 23කින් හෙවත් 0.26%කින් පහත වැටී බැරලයක් ඩොලර් 88.33ක් ලෙස සටහන් වී තිබෙනවා.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ ඉරාන ගැටුම හේතුවෙන් මතුව තිබූ භූ-දේශපාලනික අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවට ලැබෙන සංඥා හමුවේ පසුගිය සිකුරාදා ද තෙල් මිල පහත වැටී අවසන් වුණා.
ඊට පෙර සතියේදී ද බ්‍රෙන්ට් සහ WTI යන ප්‍රධාන බොරතෙල් වර්ග දෙකේ මිල පිළිවෙළින් 16%කින් සහ 13%කින් පහත වැටී තිබුණා.
මේ අතර, නැව් ප්‍රවාහන කටයුතු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර තවදුරටත් එල්ල වුවද, මැදපෙරදිග සිට සිදු කෙරෙන තෙල් අපනයනය ගෝලීය ඉල්ලුමට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පසුගිය සිකුරාදා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, මෙම වසරේ සිව්වන කාර්තුවේදී ගෝලීය තෙල් වෙළෙඳපොළ නැවතත් සැපයුම් අතිරික්තයක් සහිත තත්ත්වයකට පත්වනු ඇතැයි එම ඒජන්සිය පුරෝකථනය කරනවා.
KCM Trade හි ප්‍රධාන විශ්ලේෂක ටිම් වෝටරර් පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම ආරම්භ වූ පසු පළමු වරට වෙළෙඳපොළ තුළ සැපයුම් හිඟයක් වෙනුවට සැපයුම් අතිරික්තයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව වෙළෙඳුන් අවධානය යොමු කරමින් සිටින බවයි.
වෙළෙඳපොළ තුළ ඇති වී තිබෙන මෙම ආකල්පමය වෙනස තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ ප්රවණතාවට බාධාවක් වී ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ නවතම පුරෝකථනයට අනුව, සිව්වන කාර්තුවේදී දෛනික ගෝලීය තෙල් සැපයුම බැරල් මිලියන 105ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එය පුරෝකථනය කර ඇති දෛනික ඉල්ලුමට වඩා බැරල් මිලියන 1.7කින් ඉහළ අගයක්. මීට පෙර එම ඒජන්සිය පුරෝකථනය කර තිබුණේ සිව්වන කාර්තුවේදී තෙල් සැපයුමේ හිඟයක් ඇතිවනු ඇති බවයි.
මේ අතර, මාර්තු මාසයේදී සාමාජික රටවල් විසින් පොරොන්දු වූ හදිසි තෙල් සංචිත වෙළෙඳපොළට මුදාහැරීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය වැඩිදුර තොරතුරු අනාවරණය කර තිබෙනවා.
එමෙන්ම, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපද ධජය සහිත නැව්වලට පමණක් එරට වරායන් අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවසර ලබාදෙන ජෝන්ස් පනතේ (Jones Act) නිදහස් කිරීම තවත් දින 90කින් දීර්ඝ කළ බවයි.
මෙම නීතිමය නිදහස් කිරීම හේතුවෙන් එක්සත් ජනපද වරායන් අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත හැකි ටැංකි නැව් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත්, තෙල් සැපයුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද නැව් ප්‍රවාහන ගාස්තු තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ටිම් වෝටරර් පෙන්වා දෙනවා.
හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් ප්‍රවාහනය කරන ටැංකි නැව් මුහුණ දෙන අවදානම් සහ පිරිපහදු වෙත තෙල් රැගෙන යන වෙනත් නැව් වෙත ප්‍රවාහන කටයුතු මාරු කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් හේතුවෙන් නැව් සැපයුම සීමා වී තිබීම ඊට හේතුවයි.
මේ අතර, ඉරිදා රාත්‍රියේ හෝර්මූස් සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් පිහිටි මුහුදු බෝම්බයක ගැටීමෙන් තෙල් ටැංකි නෞකාවක ගින්නක් හටගෙන ඇති බව ඉරාන නාවික හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය ද මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇති නමුත්, එම සිදුවීම ස්වාධීනව තහවුරු කිරීමට රොයිටර් පුවත් සේවයට හැකි වී නොමැති බව වැඩිදුරටත් සඳහන්.