2027 ලෝක කුසලානයට කලින් ඉන්දියාවනු පිතිකරණයට රතු එළියක් - ගම්භීර්ගේ අනතුරු ඇඟවීමට රවී ශාස්ත්රිත් එකඟ වෙයි
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරණයේ දුර්වලතා සම්බන්ධයෙන් ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් පළ කළ කනස්සල්ල නිවැරදි බව හිටපු ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි පවසයි.
තරගාවලියේ සිව්වැනි එක්දින තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 89කට දැවී යාමෙන් පසුව ගෞතම් ගම්භීර් සිය පිතිකරණ අංශය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළේය.
කෙසේ වෙතත්, පස්වැනි එක්දින තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය 3-1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුවද, එම ජයග්‍රහණය හමුවේ පවා පිතිකරණයේ දුර්වලතා නොසලකා හැරිය නොහැකි බව රවී ශාස්ත්‍රි පෙන්වා දෙයි.
සෝනි ස්පෝර්ට්ස් නාලිකාව සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ගෞතම් ගම්භීර් සිය අවසන් මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් නිවැරදි බවයි.
2027 ලෝක කුසලානය ගැන ගම්භීර්ගේ කනස්සල්ල
සිව්වැනි එක්දින තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ගෞතම් ගම්භීර් පෙන්වා දුන්නේ නවසීලන්තයේ ක්‍රීඩා තත්ත්වයන් 2027 එක්දින ලෝක කුසලානය පැවැත්වෙන දකුණු අප්‍රිකාවේ තත්ත්වයන්ට බොහෝ සෙයින් සමාන වන බවයි.
එවැනි තත්ත්වයන් යටතේ ඉන්දීය පිතිකරුවන් දැක්වූ දක්ෂතා පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව ද ඔහු සඳහන් කළේය. ලකුණු 90කට ආසන්න සංඛ්‍යාවකට කණ්ඩායමක් දැවී යාම පිළිබඳව කනස්සල්ලට පත් නොවී සිටිය හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කළ ගම්භීර්, පන්දු යවන්නන්ට සහාය ලැබෙන තණතීරුවලදී ඊට මුහුණදීමට මානසිකව මෙන්ම තාක්ෂණිකව ද පිතිකරුවන් සූදානම් විය යුතු බව අවධාරණය කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ කණ්ඩායමේ ප්‍රධාන ගැටලුව ලකුණු සංඛ්‍යාව පමණක් නොව, පන්දුවාර 26ක් හෝ 27ක් වැනි කෙටි කාලයක් තුළ සියලු පිතිකරුවන් දැවී යාම බවයි.
එමෙන්ම, මීට පෙර පැවති තරගයේදී ද ඉන්දීය කණ්ඩායම ලකුණු 111ක් වන විට කඩුලු හතක් අහිමි කරගෙන සිටි බව ඔහු සිහිපත් කළේය.
වසර 8කට පසු යළි කරළියට ආ ‘සෑන්ඩ්පේපර් ගේට්’ ගිනි පුපුර - අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට පන්දුවේ වෙනස නොපෙනී ගියේ කොහොමද කියා වසීම් අක්රම් ප්‍රශ්න කරයි
ලකුණු 300ක්ම ලබාගැනීමට උත්සාහ කිරීම අවශ්‍ය නැහැ - ශාස්ත්‍රි
පස්වැනි එක්දින තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ රවී ශාස්ත්‍රි ද ගම්භීර්ගේ අදහස අනුමත කරමින් කියා සිටියේ ඉදිරි තරගවලදී ඉන්දීය පිතිකරුවන් මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතු බවයි.
සෑම තරගයකදීම ලකුණු 300ත් 320ත් අතර ඉලක්කයක් හඹා යාමට හෝ එවැනි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට උත්සාහ කිරීම අවශ්‍ය නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පන්දු යවන්නන්ට වැඩි සහායක් ලැබෙන තණතීරුවලදී ලකුණු 260ක් හෝ 270ක් වුවද ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් විය හැකි බව ශාස්ත්‍රිගේ අදහසයි.
එවැනි අවස්ථාවලදී ඉවසීමෙන් ක්‍රීඩා කරමින් අසීරු කාලසීමාවන්ට සාර්ථකව මුහුණදීමට පිතිකරුවන් පුරුදු විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මේ අතර, නවසීලන්තයට එරෙහි පස්වැනි එක්දින තරගයේදී ඉන්දියාව රැස් කළ ලකුණු 209ක ඉලක්කය ආරක්ෂා කර ගැනීමට එරට පන්දු යැවීමේ බලඇණිය සමත් විය.
අර්ෂ්දීප් සිං සහ මොහොමඩ් සිරාජ් ප්රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ එම තරගය ලකුණු 22කින් ජයගත් ඉන්දියාව තරගාවලියේ ජයග්‍රහණය ද තහවුරු කර ගත්තේය.