මේ තනතුරු 7,000 ක් අනුමත කිරීමට රජයෙන් සැලසුමක් - සුව ඇමතිගෙන් ප්‍රකාශයක්
ඉදිරි වසර තුන තුළ වෛද්‍ය තනතුරු 7,000 ක් පමණ සඳහා අනුමැතිය ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිවේදනය කර ඇති බව සඳහන්.
ඔහු මේ බව කියා ඇත්තේ කරාපිටියේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව මහල් 10 කින් යුත් මහාචාර්ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ 2017 වසරෙන් පසු ප්‍රථම වතාවට සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩල සමාලෝචනය සිදු කර ඇති බවයි.
එසේම සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළ වෛද්‍යවරුන් 1,472 දෙනෙකු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින බවත්, පවතින නීතිමය කටයුතු අවසන් වූ පසු පත්වීම් 2,000 කට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර ඇත.
තවද හෙද නිලධාරීන් 3,000 ක් සහ උපාධිධාරීන් 500 ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසූ බව සඳහන්.
ඔහුට අනුව ශ්‍රී ලංකාවේ දැනට විශේෂඥයින් සහ වෛද්‍ය පරිපාලකයින් ඇතුළුව වෛද්‍යවරුන් 25,000 ක් පමණ සිටින අතර, රට පුරා වෛද්‍ය පීඨ 12 ක සිසුන් 12,000 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබයි.