තවත් පළාත් දෙකක පාසල් විවෘත කෙරේ..? පළාත් සහ දිනය.

covid19 education school vili gamage
By Sewvandhi Oct 01, 2021 02:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි. එදිනට පාසල් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් සකස් කරන ලෙස සියලු පළාත් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම්දී ඇති බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

"ඌව පළාතේ අපි තීරණයක් ගත්තා මම අධ්‍යාපන, සෞඛ්‍ය නිලධාරීන්ගේ නියෝගය මත ලබන මාසයේ, 18 වෙනිදා සිට ළමයි 200ට අඩු ප්‍රාථමික පාසල් විවෘත කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න කියලා. එතකොට සෞඛ්‍ය හා ප්‍රවාහන අවශ්‍යතාවයන් සලසා දීම ඒ අනුව වැඩකටයුතු අපි සියලුම අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දීලා තියෙනවා 18 වෙනිදා පාසල් විවෘත කිරීමට අවශ්‍ය වැඩකටයුතු සකස් කර ගන්න කියලා."

මේ අතර දකුණු පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 21 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා පැවසුවේය.

"දකුණු පළාතේ 514ක් එවැනි පාසල් තියෙනවා. අපි මුලික සාකච්ඡා පවත්වලා තියෙනවා සෞඛ්‍ය අංශ හා අධ්‍යාපන අංශය එකතුවෙලා. ඊට අමතරව ප්‍රාදේශීය සභාවල සහයෝගය අරන් පාසල් කාලයක් වසා තිබු නිසා සුද්ද කරලා විෂබීජහරණය කරගෙන මේ සඳහා සුදානම් කරගෙන යනවා. අපි විශ්වාස කරනවා මේ මාසේ 21 වන විට එවැනි පළාත් 9යේම එවැනි ගණයේ පාසල් විවෘත කිරීමට හැකියාව ලැබෙයි කියලා."

එමෙන්ම, ලෝක ළමා දිනය අද ට (01) යෙදී තිබේ. "සියල්ලට ම පෙර දරුවන්" යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර ලෝක ළමා දිනය සැමරීමට නියමිතය. අද සිට ලබන 31 වනදා දක්වා දිවයින පුරා ළමා සුබසාධන වැඩසහන් රැසක් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.

මේ අතර සමාජානුයෝජන ක්‍රියාවලියේදී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එබැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ලෝක ළමා දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. වර්මානයේ ලෝකය මුහු‍ණ දී ඇති වසංගත තත්ත්වය හමුවේ දරු පරපුරට පාසල් පංති කාමරය, ක්‍රීඩා පිටිය, දුරස්ථව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් 25ක් සංවිධානය කර ඇති බව ජාතික ළමා රක්ෂිණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. මේ අතර ළමුන් අන්තර්ජාලය මගින් අපයෝජනය වීම වර්තමානයේ පවතින විශාල ගැටලුවක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha