සෞදි අරාබියෙන් යේමනයට දරුණු ප්‍රහාර - නැවතත් මැද පෙරදිග ගිනි ඇවිලෙයි
රතු මුහුදේ යාත්‍රා කරන සෞදි නෞකාවලට හවුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය යේමනයේ හොඩෙයිඩා වරායට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
ඉරානයේ සහය ලබන හවුති සටන්කාමීන් පසුගිය සතියේදී සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරතාවයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සෞදිය විසින් යේමනයට පනවා ඇති "අසාධාරණ වැටලීමයි" මීට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.
වාණිජ නෞකාවලට තර්ජනයක් වන හවුති හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බව මෙම තත්ත්වය හමුවේ සෞදි සන්ධානයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල් මලිකි සඳහන් කළේය. හවුති පාර්ශවයට සම්බන්ධ 'අල් මසීරා' රූපවාහිනිය වාර්තා කළේ මෙම ප්‍රහාරවලින් සන්නිවේදන මධ්‍යස්ථානවලට හානි සිදුව ඇති බවයි. තවද, රතු මුහුදේ පිහිටි කමරන් දූපතට එල්ල වූ ප්‍රහාරයකින් කාන්තාවක තුවාල ලබා ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.
හවුති දේශපාලන අංශය මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ද ප්‍රහාරවලට ප්‍රහාරයෙන්ම පිළිතුරු දෙන බවයි. හොඩෙයිඩා වරායට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස හවුති සටන්කාමීන් සෞදි අරාබියේ ජාසාන් කාර්මික නගරයට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. එහිදී සෞදි රජයට අයත් 'අරාම්කෝ' (Aramco) තෙල් සමාගමේ මධ්‍යස්ථානයක විශාල ගින්නක් හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.
හවුති සටන්කාමීන් පවසන්නේ මෙම සතිය තුළ සෞදියට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකක් ද තමන්ගේ ඉලක්ක බවට පත් වූ බවයි.මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ හවුති සටන්කාමීන් යනු ඉරානයේ නියෝජිත පිරිසක් බවත්, ඔවුන්ට එරෙහිව දැඩි හමුදාමය දඬුවම් පමුණුවන බවත්ය. 2014 වසරේ සිට යේමනයේ පවතින මෙම සිවිල් යුද්ධය හේතුවෙන් එරට තුළ දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, නවතම ප්‍රහාර මාලාව එම තත්ත්වය තවදුරටත් දරුණු කරනු ඇත.