අලි පරපුරේ අනාගතය රැක ගන්න - රතු නිවේදනයක් නිකුත් කරන්නැයි සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් [VIDEO]

Report

ශ්‍රී ලංකාවේ වඳවී යාමේ අවදානමකට මුහුණ පා සිටින ඇත් පරපුර සංරක්ෂණය කිරීම සඳහා විශේෂ ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කාවන්තිස්ස ඇත් රජු රටට අහිමි වී මාසයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

කාවන්තිස්ස ඇත් රජු වෙනුවෙන් හෙට (16) පස්වරුවේ ධර්ම දේශනාවක් සහ 17 වැනිදා පුණ්‍යකර්මයක් සංවිධානය කර ඇති බවත්, ගල්ගමුව බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී එම ආගමික කටයුතු පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ මෙරට ඇත් පරපුර මේ වන විට බරපතළ අවදානමකට සහ විනාශයකට මුහුණ පා සිටින බවයි.

 පිරිමි අලි ගහනයෙන් ඇතුන් ලෙස දළ සහිතව වර්ධනය වන්නේ සියයට 6ත් 10ත් අතර ප්‍රමාණයක් පමණක් බවත්, එම සීමිත ඇත් පරපුර ද අද වන විට දැඩි තර්ජනයකට ලක්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ප්‍රමාද වී හෝ වත්මන් රජය මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයකට සහ වැඩපිළිවෙළකට යොමුවීම පිළිබඳව සතුටු වන බව පැවසූ විපක්ෂ නායකවරයා, ඇත් පරපුර සංරක්ෂණය කිරීම ප්‍රමුඛ ජාතික කාර්යයක් ලෙස සැලකිය යුතු බව අවධාරණය කළා.

අග්බෝ හස්තියා සැරිසරන බිමේ මර උගුලක් - ගිනිඅවි සහ හක්කපටස් සමඟ තවත් භයානක දේ හමුවෙයි

අග්බෝ හස්තියා සැරිසරන බිමේ මර උගුලක් - ගිනිඅවි සහ හක්කපටස් සමඟ තවත් භයානක දේ හමුවෙයි

''මේ අවස්ථාවේ අපේ රටේ වඳවී යන ඇත් පරපුර ඉලක්ක කරගෙන විශේෂ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන් සංරක්ෂණය කරන්නට අවශ්‍යයි. මේක ප්‍රමුඛ ක්‍රියාදාමයක් හැටියට රජය දේශීය වශයෙන් මේ ඇත් පරපුර පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කරලා, රෙඩ් නෝටිස් එකක් නිකුත් කරලා, මේ ඇත් පරපුර රෙඩ් ලිස්ට් එකකට ඇතුළත් කරලා, මේ ඇත් පරපුරට ලබා දෙන වටිනාකම, ඇගයීම, ඒ ඉඩකඩ, ඒ අවස්ථාව, ඒ පිළිගැනීම අපි පළමුවෙන්ම ලබා දිය යුතුයි.”

ඒ අනුව මෙරට ඇත් පරපුර සම්බන්ධයෙන් ජාතික මට්ටමේ රතු නිවේදනයක් නිකුත් කර, ඔවුන් රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නා.

එමගින් ඇත් පරපුරට හිමි විය යුතු වටිනාකම, පිළිගැනීම සහ සංරක්ෂණ අවස්ථා ලබාදිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම ඇතුන් සම්බන්ධයෙන් ලැයිස්තුවක් සකස් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත්, එය ඇතුන්ට ආදරය කරන එක් සංවිධානයක් සමඟ එක්ව සකස් කර ඇති බවට දැනගන්නට ලැබී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

එවැනි කටයුතු සිදුකිරීමේදී පරිසරයට සහ වන සතුන්ට ආදරය කරන සියලු සංවිධාන එකතු කරගෙන, විධිමත් නිර්ණායක මත ඇතුන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළා.

එම සංරක්ෂණ වැඩපිළිවෙළ වයස්ගත ඇතුන්ට පමණක් සීමා නොවිය යුතු බවත්, කුඩා වයසේ පසුවන ඇතුන් සහ මධ්‍යම වයස් කාණ්ඩයේ ඇතුන් ද ඇතුළත් කරමින් සමස්ත ඇත් පරපුරම ආරක්ෂා කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

අවසානයේ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ මාධ්‍ය සංදර්ශන නොව, ඇත් පරපුර ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙස ක්‍රියාත්මක වන පැහැදිලි වැඩපිළිවෙළක් බවයි.

අයවැයෙන් දීමනා නැහැ, නිලධාරීන් හිඟයි -පශු වෛද්‍යවරුන්ගෙන් දැඩි තීරණයක්

අයවැයෙන් දීමනා නැහැ, නිලධාරීන් හිඟයි -පශු වෛද්‍යවරුන්ගෙන් දැඩි තීරණයක්