අළු යට සැගවුණු ගිණිපුපුරු යළි මතුවෙයි..සහරාන්ගේ කල්ලියේ තරුණියක් අත්අඩංගුවට.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක් අනුව එම තරුණිය අත්අඩංගුවට ගනු ලැබු බවයි. සහරාන් නැමැත්තා විසින් කාන්තාවන් පිරිසක් ද අන්තවාදී සංවිධානයට බඳවා ගෙන යම් පුහුණුවක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වු බවත් ඒ අනුව එවැනි කාන්තාවන් 6 දෙනෙක් පසුගිය දෙසැම්බර් මස 7 වන දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේ දී අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්තිවලට සහභාගී වු අදාළ කාන්තාව ඊයේ (19) දිනයේ දී අත්අඩංගුවට පත්ව තිබේ. අදාළ සැකකාරිය මේ වන විට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඇය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව ද සඳහන් කළේය. මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ තරුණියගේ සහෝදරයන් තිදෙනා හා පියා ද මේ වන විට බන්ධනාගාර ගතකර සිටී.