“මම ඔහුව හැමවිටම ඉහළින් අගය කළා” - සචින්ගේ වාර්තාවට ළංවන ජෝ රූට් ගැන සචින්ගෙන්ම විශේෂ ප්‍රකාශයක්

Report

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා ලෙස තමන් සතු වාර්තාවට එංගලන්තයේ ජෝ රූට් සමීප වෙමින් සිටීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් සිය අදහස් පළ කර තිබේ.

රෙඩිට් (Reddit) සමාජ මාධ්‍ය වේදිකාවේ පැවති ප්‍රශ්න හා පිළිතුරු සැසියකදී (AMA) ඔහු මේ බව සඳහන් කර ඇත. එහිදී ජෝ රූට් තම ටෙස්ට් ක්‍රිකට් ලකුණු වාර්තාව අභිබවා යාමට ආසන්න වීම පිළිබඳව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සචින් පවසා ඇත්තේ, රූට්ගේ දක්ෂතා පිළිබඳව තමන් ඉහළ තක්සේරුවක සිටි බවයි.

"මම ඔහුව හැමවිටම ඉතා ඉහළින් අගය කළා. ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදීම ඔහු විශාල දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු බවට පත්වන බව මට පැහැදිලි වුණා" යනුවෙන් සචින් සඳහන් කර තිබේ.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර මේ වනවිට දෙවැනි ස්ථානයේ පසුවන්නේ ජෝ රූට්ය.

ඔහු ටෙස්ට් තරග 169කට සහ ඉනිම් 309කට ක්‍රීඩා කරමින් ලකුණු 14,278ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව සචින් තෙන්ඩුල්කර්ගේ වාර්තාව අභිබවා යාමට ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 1,643ක් පමණි.

ක්‍රිකට් ලොවම මවිත කළ සුපිරි තරුව ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර පිටියට තීරණය කරයි

ක්‍රිකට් ලොවම මවිත කළ සුපිරි තරුව ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර පිටියට තීරණය කරයි

සචින් තෙන්ඩුල්කර් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසන් කළේ තරග 200කදී සහ ඉනිම් 329කදී ලකුණු 15,921ක් රැස්කරමිනි.

එම වාර්තාව තවමත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළින්ම පවතී. විශේෂත්වය වන්නේ ජෝ රූට් ටෙස්ට් වරම් ලැබූ 2012 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවට එරෙහිව පැවති නාග්පූර් ටෙස්ට් තරගයේදී සචින් ද ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමයි.

එම තරගයේ පළමු ඉනිමේදී පන්දු 229කට මුහුණ දෙමින් ලකුණු 73ක් රැස්කළ රූට් දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 20ක් ලබාගත් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මේ අතර, ඉන්දියානු නොවන පිතිකරුවන් අතර තමන් වඩාත් කැමති ක්‍රීඩකයන් ලෙස එංගලන්තයේ හැරී බෘක්, ජෝ රූට් සහ ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්ගේ නම් ද සචින් සඳහන් කර තිබේ.

එමෙන්ම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව වෙනස් කිරීම සඳහා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවක් ද ඔහු යළිත් අවධාරණය කර ඇත.

ඒ අනුව එක්දින තරගයක පන්දුවාර 50 එක් කණ්ඩායමකට පන්දුවාර 25 බැගින් වූ ඉනිම් දෙකකට බෙදිය යුතු බව සචින්ගේ අදහසයි.

කෙසේ වෙතත්, සම්පූර්ණ පන්දුවාර 50 සඳහාම කණ්ඩායමකට හිමි කඩුලු 10 එලෙසම පවත්වාගෙන යා යුතු අතර තරගය පුරාම භාවිත කළ යුත්තේ එක් පන්දුවක් පමණක් බව ද ඔහු පෙන්වා දී තිබේ.

"මගේ යෝජනාව සරලයි. පන්දුවාර 50 ඉනිම් දෙකකට බෙදා එක් ඉනිමකට පන්දුවාර 25 බැගින් ලබාදිය යුතුයි. නමුත් සම්පූර්ණ පන්දුවාර 50 සඳහාම කඩුලු 10ක් පමණක් පවත්වාගෙන යා යුතුයි.

එසේම තරගය පුරාම භාවිත කළ යුත්තේ එක් පන්දුවක් පමණයි. එමගින් පිත්ත සහ පන්දුව අතර තරගකාරීත්වය ආරක්ෂා කරගත හැකියි. පන්දු යවන්නන් අතුරුදන් වීමට පෙර මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි" යනුවෙන් සචින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔස්ට්‍රේලියාව පරදා ඇෆ්ගනිස්ථානය ඉතිහාසය අලුතින් ලියයි - හොංකොං සීක්සස් කිරුළ මුල්වරට දිනාගනී

ඔස්ට්‍රේලියාව පරදා ඇෆ්ගනිස්ථානය ඉතිහාසය අලුතින් ලියයි - හොංකොං සීක්සස් කිරුළ මුල්වරට දිනාගනී