සයිබීරියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන සෘජු ගුවන් ගමන් සතියකට දෙවරක් - කාලසටහන මෙන්න

By Kanchana Aug 28, 2026 07:25 AM GMT
Report

රුසියාවේ ප්‍රමුඛ ගුවන් සේවයක් වන S7 Airlines, 2026 දෙසැම්බර් 20 වනදා සිට සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් නගරය සහ කොළඹ අතර නව ජාත්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කිරීමට නියමිත බව Aviation Voice Asia වාර්තා කරයි.

මෙම නව ගුවන් සේවය හරහා සයිබීරියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සම්බන්ධතාවක් ස්ථාපිත වන අතර, රුසියානු සංචාරකයින්ට කොළඹ මෙන්ම හික්කඩුව, බෙන්තොට සහ ත්‍රිකුණාමලය වැනි ජනප්‍රිය සංචාරක ගමනාන්ත වෙත පහසුවෙන් ළඟා වීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම ගුවන් ගමන් සතියකට දෙවරක්, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. නොවොසිබිර්ස්ක්හි ටොල්මාචෙවෝ ගුවන්තොටුපළෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 5.15ටත්, ඉරිදා පෙරවරු 5.00ටත් ගුවන් යානා පිටත් වන අතර, පස්වරු 1.40ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වීමට නියමිතය.

කොළඹ සිට ආපසු ගුවන් ගමන් එම දිනවලම පස්වරු 2.50ට පිටත්වී, පසුදා අලුයම 2.15ට පමණ නොවොසිබිර්ස්ක් වෙත ළඟා වීමට නියමිතය. මෙම ගමන සඳහා ඉන්දියාවේ ජයිපූර්හි තාක්ෂණික ඉන්ධන පිරවීමේ නැවතුමක් ද ඇතුළත් වන අතර, මගීන් එම අවස්ථාවේදී යානයෙන් බැසීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ.

ඒ අනුව, සම්පූර්ණ ගමන් කාලය පැය 10කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දකුණු ආසියානු කලාපය තුළ S7 Airlines සිය ගුවන් සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ පියවරක් ලෙස මෙම නව මාර්ගය හඳුන්වා දී තිබේ.

එම නව ගුවන් සේවය සඳහා ප්‍රවේශපත්‍ර මේ වන විටත් අලෙවියට නිකුත් කර ඇති බව S7 Airlines නිවේදනය කර ඇත.