18 සම්පූර්ණ වෙලා සමාජ ගත වෙන මේ දරුවන්ට මිලියන දෙකක්.. ඒකත් මදි නම් කියන්න අපි ලෑස්තියි තව ප්‍රතිපාදන වෙන් කරන්න - ජනපති

Report

දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

‘දිවියට සවියක්’ නිවාස වැඩසටහන තුළින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් සුරක්ෂිත නිවසක් සඳහා ඉකුත් වසරේ රුපියල් මිලියනයක් ලබා දුන් බවත්, එය මේ වසරේදී රුපියල් මිලියන දෙක දක්වා වැඩි කළ බවත් පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් තව දුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවයි.

ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන දිවියට සවියක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) දින පස්වරුවේ සහභාගි වෙමින්.

මෙම වැඩසටහන යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජ ගත වු වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් සහ අනාරක්ෂිත සහ අධිඅවදානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනා ගත් දරුවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට මිලියන දෙකක ආධාර මුදලක් පිරිනමනු ලබ‍යි.

බැංකු ක්ෂේත්‍රයම කැළඹූ මහා ජාවාරම - බිලියන 86ක් රට පැන්නූ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අඳාළ බැංකු වෙත ඇතුළුවීමත් තහනම්

බැංකු ක්ෂේත්‍රයම කැළඹූ මහා ජාවාරම - බිලියන 86ක් රට පැන්නූ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අඳාළ බැංකු වෙත ඇතුළුවීමත් තහනම්

ඒ අනුව අද දිනයේදී බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් වෙත එම මුදල් අධාර පිරිනැමුවා.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“දිවියට සවියක් වැඩසටහන අපේ රටේ වැදගත් ක්ෂේත්‍රයක ආරම්භයක්. දරුවන් කියන්නේ ජාතියේ නිධානය. අපේ රටේ දෙමාපිය රැකවරණය යටතේ හැදෙන දරුවන් ඉන්නවා. අම්මා තාත්තා යටතේ නැත්නම් ආච්චි සීයා යටතේ හැදෙන දරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල හැදෙන දරුවෝ ඉන්නවා. මේ ආකාරයට විවිධ ස්ථානවල අපේ දරුවෝ ගොඩනැගෙනවා. කොතැන කොයි ආකාරයෙන් ජීවත් වුණත් ඒ අපේ දරුවෝ. දෙමාපියන් සහ දරුවන් අතර බැඳීමක් තිබෙනවා. ඔවුන් උත්සාහ කරනවා තමන්ගේ දරුවන් ජීවිත යහපත් කරන්න. ආරක්ෂා කරන්න. ඒ වගේම සමාජය සහ දරුවන් අතර සම්බන්ධයකුත් තියෙනවා. සමාජය හැම විටම උත්සාහ කරනවා දරුවන්ට හොඳ රැකවරණයක් ලබාදීමට. රජය සහ දරුවන් අතරත් බැඳීමක් තිබෙනවා. රජය දරුවන්ට රැකවරණය සැලසීමට කටයුතු කරනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ඒ සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒක රජයේ වගකීමක්. සංස්කෘතිකමය වශයෙන් ගත්තම මේ බැඳීම් ඉතාමත් යහපත් මට්ටමක තිබුණත් තවමත් අපි කිසිසේත් අපේක්‍ෂා නොකරන සිදුවීම්වලට දරුවන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒ කියන්නේ අපි තවමත් සමත් වෙලා නෑ, දරුවන්ට සම්පූර්ණයෙන්ම රැකවරණය සලසන්න. ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු වාතාවරණයක් සහිත පරිසරයක් නිර්මාණය කරන්න අපි තවමත් සමත් වෙලා නැහැ. සමාජයට, රාජ්‍යයට, දෙමාපියන්ට අපි කාටත් ලොකු වගකීමක් තියෙනවා මේ දරුවන්ගේ රැකවරණය සැලසීම පිළිබඳව. කිසිම දරුවෙක් අනාරක්ෂිතව හෝ සෙනෙහසකින් තොරව ගොඩනැගිය යුතුය කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපේ වගකීම සෑම දරුවෙකුටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සහිත පරිසරයක් ගොඩනැගීම. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. 1956 වසරේ සිට ළමා ශ්‍රමය තහනම් වී තිබුණත් 1998 තමයි එහි කාර්යභාරය සම්පූර්ණ වුණේ. නමුත් ළමයින්ගේ ජීවිත අනාරක්ෂිත වුනේ ළමා ශ්‍රමය විකිණීමෙන් පමණක් නෙවෙයි. තවත් ක්ෂේත්‍ර ගණනාවක් තුළින් ඔවුන් පීඩාවට පත්වුණා. අනාරක්ෂිත වුණා. ඒ නිසා තවත් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අපි ඔවුන්ගේ ආරක්ෂාවට තහවුරු කිරීමට කටයුතු කළ යුතුයි. අද මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉන් එක් පැත්තක්. එකක් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක හැදී සමාජගත වන තරුණ තරුණියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. අනාරක්ෂිත නිවාසවල ජීවත්වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. තමන්ගේ උපන් දිනය දන්නේ නැති, වාසගමක් දන්නේ නැති දරුවෝ අපිට මුණගැහිලා තියෙනවා. හැම අම්මා තාත්තා කෙනකුටම තමන්ගේ දරුවන් පිළිබඳව සිහිනයක් තිබෙනවා. නමුත් මේ දරුවෝ ගැන සිහින දකින්නේ කවුද? ආර්ථික හැකියාව අනුව දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අනාගතය, ඔවුන්ට අවශ්‍ය ගේ දොර ගොඩ නගනවා. මේ මධ්‍යස්ථානවල ඉන්න දරුවන් වෙනුවෙන් ගෙවල් දොරවල් හදන්නේ කවුද? අන්න ඒ වගකීම තමයි අපි මේ ඉටු කරන්න උත්සාහ කරන්නේ. ඒක අපේ වගකීමක්. ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සමාජයට එකතු වන විට ඔවුන්ට යම් මුල්‍ය ඉතිරියක්, තමන්ටම වූ වත්කමක් හිමි කර දිය යුතුයි කියන අදහසින් අපි මේ නිවාසවල ඉන්න හැම දරුවෙකුටම බැංකු ගිණුමක් ආරම්භ කර හැම මාසයකම එක් ගිණුමකට රුපියල් 5000ක මුදලක් තැන්පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. සමහර දරුවන්ගේ ගිණුම් විවෘත කිරීමේදිත් යම් යම් ගැටලු මතු වෙලා තිබුණා. නමුත් අපි ඒක කරනවා. ඒ වගේම අපි අවුරුදු 18 සම්පූර්ණ වෙලා සමාජ ගත වූ දරුවන්ට තමන්ගේ අනාගතය සුරක්ෂිතව ගත කළ හැකි පරිදි නිවසක් ලබාදෙන්න තීරණය කළා. ඒ වගේම අනාරක්ෂිත නිවාසවල ජීවත්වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් අපේ වගකීමක්. සමහර නිවාසවල පවතින ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසාම සමහර දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත වෙලා. ඒ අනුව අපි ගිය වසරේ ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වුණ සුරක්ෂිත නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක් ලබාදුන්නා. ඒක ප්‍රමාණවත් නෑ කියපු නිසා මේ වසරේ ලක්ෂ විස්සක් නැත්නම් මිලියන දෙකක් වෙන් කළා. ඒකත් මදි නම් කියන්න අපි ලෑස්තියි තව ප්‍රතිපාදන වෙන් කරන්න. මොකද දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම අපේ වගකීමක්. අපි වැඩ කරන්නේ ඒ වගකීම භාරගත් ආණ්ඩුවක් හැටියටයි. ඒ වගේම ජාතියේ නිධානය වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට සමාජයටත් ලොකු වගකීමක් පැවරී තිබෙන බව අපි විශ්වාස කරනවා. කුමක් හෝ හේතුවකට දරුවන් සහ දෙමාපියන් අතර තිබුණ යහපත් සබඳතාවය බිඳ වැටෙමින් තිබෙනවා. සමාජය හා දරුවන් අතර සබඳතාවයත් දුර්වල වෙමින් තිබෙනවා. දරුවා දරුවෙක් ලෙස තේරුම් ගනිමින් ඔවුන්ගේ රැකවරණය සැලසිය යුතුයි. එය අපේ වගකීමක්. ඒ සම්බන්ධයෙන් රජයට වගකීමක් තිබෙනවා. නමුත් රජයට විතරක් මේක කරන්න බැහැ. දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වෙන්න නම් සමාජය ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ යුතුයි. නමුත් සමාජය හා දරුවන් අතර සබඳතාවය බිඳ වැටෙමින් තිබෙනවා. ඒ සමාජය අපි ඉහළ තලයකට ඔසවා තැබිය යුතුයි. අපේ දරුවන් රැකබලා ගැනීමේ වගකීම ජාතික වශයෙන් අපි භාරගත යුතුයි. එක දරුවෙකුට හෝ හානියක් සිදු නොවිය යුතුයි. අපි රජයක් ලෙස ඒ වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කරනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. සමාජයක් ලෙස ඒ වගකීම ඉටු කරන ලෙස ඔබ සියලු දෙනාගෙන්ද ඉල්ලා සිටිනවා.”

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

මේ අතර ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසා ඇත්තේ,

“අපි ආණ්ඩුවක් ලෙස ලබාගත් ලොකුම ජයග්‍රහණය තමයි දේශපාලන, ජාති ආගම් බේදයකින් තොරව සියලු දෙනාටම අතින් අල්ලගෙන එකම දිශාවකට එකම ගමනක් හෙමින් වුණත් ස්ථාවරව යන්න පුලුවන් රටක් නිර්මාණය කිරීමට හැකි වීම. ප්‍රවාහනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර තුළින් භෞතික සංවර්ධනයක් අත්පත් කරගන්නා තරමටම සමාජ සංවර්ධනයක් අත්පත් කරගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මෙන්න මේ භෞතික සංවර්ධනයට සමගාමී සමාජ සංවර්ධනයක් ගොඩනගන්නට බැරි වුනොත් බහුමාන දරිද්‍රතාවයෙන් පෙලෙන සමාජයක් නිර්මාණය වෙනවා. අපි බහුමාන දරිද්‍රතා ඉලක්ක ජය ගත් රටක්. නැත්නම් බහුමාන දරිද්‍රතාවයෙන් මිදීම සඳහා කටයුතු කළ, කටයුතු කරන රටක්. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙන්නේද එවැනි බහුමාන දරිද්‍රතා ඉලක්ක ජයගැනීමේ වගකීමක්. මෙතනදි අපි ගොඩනගන්නේ කාන්තාවන්ගේ දරුවන්ගේ අනාගතය. අනාගත ඉලක්ක. ඔවුන්ගේ ජීවිතය. ඔවුන්ට වැරදුන් රිදුනු තැන් සුවපත් කිරීම. ඒ සඳහා අපි විශාල වෙහෙසක් ගන්නවා. අපිට තිබෙන අමාත්‍යාංශ අතර ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කියන්නේ සැඟවුණු අමාත්‍යාංශයක්. මොකද අපිට තිබෙන්නේ භෞතික සංවර්ධනයක් පෙන්විය හැකි ව්‍යාපෘති නෙවෙයි. අපේ අමාත්‍යාංශය කියන්නේ කාන්තාවන්ගේ දරුවන්ගේ කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර කිසිවක් එළියට අනාවරණය කරන්න බැහැ. ඒ හැම කතන්දරයකම ඔවුන්ට වැරදුනු, රිදුනු තැනක් තියෙන්න පුළුවන්. රජයක් ලෙස අපේ වගකීම වැරදුනු තැන් නිවැරදි කරගෙන රිදුණු තැන් සුවපත් කරන ජීවිතයක් ඔවුන්ට උරුම කරදීම. ඔවුන්ට වැරදුන් රිදුනු තැන් ඔවුන්ගේ දරුවන්ට අත්පත් නොවන ලෙස සුවපත් ජීවිතයක් උරුම කර දීම. ඒ නිසා ලස්සන ජීවිතයක් වෙනුවෙන් තබන අඩිතාලමක් ලෙසයි මේ දිවියට සවියක් වැඩසටහන ආරම්භ කළේ. ලංකාව පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356 ක 8000 ට වැඩි දරුවන් පිරිසක් ජීවත් වෙනවා. මේ දරුවන් අටදහස එකතු වන්නේ ළමා වරදකරුවන් හැටියට වගේම වින්දිතයන් ලෙසයි. ඒ වගේම අනාථ, අත්හල, භාරකාරත්වයක් රැකවරණයක් නැති දරුවන් ලෙස. ඒ සියලු දෙනාගේ මනෝභාවයන් එකිනෙකට වෙනස්. නමුත් ඒ සියලු දෙනාම එකට රැකබලා ගැනීමේ යාන්ත්‍රණයක් අපිට ක්‍රියාත්මක කරන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව 2027 වසරේදී මේ දරුවන් වෙන්කොට වඩාත්ම සුරක්ෂිත ලෙස උපදේශන මාර්ගෝපදේශ සහිතව අධ්‍යාපනික සුභ සිද්ධිය සඳහා ඔවුන් සංවර්ධනය කිරීමයි. ඔවුන් පුනරුත්ථාපනය කරමින් නැවත සමාජගත කිරීම පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා බන්ධනාගාරගතව සිටින අයගෙන් වැඩිම පිරිස පිරිමි බව. ඒ වගේම පරිවාස හා ළමාරක්ෂක නිවාසවල සිටින වැඩිම පිරිස පිරිමි දරුවන් වීමද විශේෂත්වයක්. අපි ඔවුන්ට අනාගතයක් ගොඩ නැගිය යුතුයි. මේ නිවාසවල කිසිම දවසක චිත්‍රපටයක්, නාට්‍යයක් බලපු නැති දරුවෝ මුණගැහිලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මොවුන් සෞන්දර්යාත්මක, යහපත් පුරවැසියන් ලෙස ගොඩ නගන්න. මේ ආධ්‍යාත්මික සංවර්ධනයක් සමඟ සුවපත් වන සමාජයක්, සාමකාමී මිනිස් ප්‍රජාවක් ගොඩ නැගීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. ඒ සඳහා උපදේශන සේවාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. ඒ නිසා අද මේ නිවාස ලබන සියළු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ මේ නිවස තුළ ආදරය වපුරන්න. දරුවන්ට රැකවරණය සළසන්න. සතුට පිරි නිවහනක් ගොඩනගන්න.” යනුවෙන්.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් යූ. එල්. මතීෂා ජිනන්ජලී ජයතිලක, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් විය.

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම