මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා වසර හතරක විශේෂ වැඩපිළිවෙලක්
මෙරට මූලික රෝහල් පද්ධතිය තුළ පවතින සියලුම අඩුපාඩු හා අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් වසර හතරක කාලසීමාවකින් යුත් විශේෂ ජාතික වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වැල්ලවාය මූලික රෝහලේ පවතින තත්ත්වය සොයා බැලීම සඳහා එහි සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සක්‍රීයව එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
දිවයින පුරා පිහිටි මූලික රෝහල්වල යටිතල පහසුකම් ඇතුළු අඩුපාඩු සම්පූර්ණ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන තිස්එක්දහසක විශාල මුදලක් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී වැල්ලවාය මූලික රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, නේවාසික වාට්ටු සංකීර්ණය, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, රෝහල් මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව මෙන්ම රුධිර කාන්දුකරණ ඒකකය ඇතුළු රෝහලේ සෑම අංශයක්ම අමාත්‍යවරයාගේ සෘජු නිරීක්ෂණයට ලක්විය.
එහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රෝහල් පරිපාලන අංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සෙසු කාර්ය මණ්ඩලය සමඟ ද විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, ඔවුන් මුහුණ දෙන ගැටලුවලට සහ රෝහලේ අඩුපාඩුවලට ඒ මොහොතේදීම නිසි විසඳුම් ලබාදීමට ද පියවර ගත්තේය.
මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආර් එම් ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චතුරි ගංගානි මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.