බලශක්ති අර්බුදය මැද—විදුලියට බදු අඩු කිරීමට යුරෝපා සැලසුම
යුරෝපා සංගමයේ රටවල්වල විදුලි බිල්පත් ඉහළ යාමට හේතු වන මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිලදිගින් දිගටම ඉහළ යෑම සමනය කිරීම සඳහා, යුරෝපා කොමිසම විසින් විදුලිය සඳහා පනවා ඇති බදු අඩු කිරීම යෝජනා කර ඇත.
යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය පවසා ඇත්තේ, සමහර අවස්ථාවලදී විදුලිය සඳහා ගෑස්වලට වඩා බදු 15 ගුණයකින් වැඩි ප්රමාණයක් අය කරන බවත්, එය එසේ විය නොහැකි බවත්ය.
"විදුලිය සඳහා බදු අනුපාත අඩු කිරීමට සහ පොසිල ඉන්ධනවලට වඩා අඩුවෙන් විදුලියට බදු අය කරන බව සහතික කරන්නැයි යෝජනා කරනවා" යැයි ඇය ප්රකාශ කළාය.
එසේම, සමාගම්වලට පොසිල ඉන්ධනවලින් ඉවත්වීමට උපකාරී වන ආයෝජන හරහා මූල්යමය ආධාර ලබාදීමේ යෝජනාද ඇය යුරෝපීය නායකයින්ට ඉදිරිපත් කර තිබේ. ඉරානයේ ගැටුම ආරම්භ වීමට පෙර පැවති මට්ටමට වඩා යුරෝපයේ ගෑස් මිල මේ වනවිට දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් යුරෝපීය ආර්ථිකයට බලපෑම් ඇතිව ඇති අතර, කෙටිකාලීනව බදු අඩුකිරීම්, රාජ්ය ආධාර සහ ගෑස් මිල සීමා කිරීම වැනි පියවර ගැන සාකච්ඡා පවතී.