එන්නත ලබාගන්නැයි ආයාචනයක්..? (VIDEO)
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය ඉතා අඩු අගයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
වැඩසටහනක ට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 23 දෙනෙකු පමණක් බවය.
"බහුතරයක් කොවිඩ් මරණවලින් අවුරුදු 60ට වැඩි අයගෙන් සියයට 80කට වැඩි ප්‍රතිශතයක් එන්නත අරගෙන නෑ. මරණ විශ්ලේෂණයේ දී දැක්ක දෙයක් තමා එන්නත මාත්‍රා එකක්වත් ගත්තේ නැති අය තමා බොහෝවිට මේ රෝගයට ගොඳුරු වෙලා මියගිහින් තියෙන්නේ. ඉතින් මගේ එකම ඉල්ලීම කවුරු හෝ වේවා එන්නත ලබානොගත් වැඩිහිටියෙක් ඉන්නවා නම් අවුරුදු 60ට වැඩි ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ එන්නත් මධ්‍යස්ථානයට ගිහින් එන්නත හැකි ඉක්මනින් ලබාගන්න. රෝගීන් 4,137ක් මියගිහින් තියෙනවා. එන්නත ලබාගෙන මියගිහින් තියෙන්නේ 200යි. ඒ 200නුත් එක මාත්‍රාවක් ලබාගෙන මියගිහින් තියෙන්නේ 177යි. මාත්‍රා දෙකම අරන් මියගිහින් තියෙන්නේ 23ක්."
සෞඛ්‍ය අංශ කොවිඩ් සංඛ්‍යාලේඛන වසන් කරන බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. මේ අතර කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට අද (10) සිට එන්නත් ලබාදීමට නියමිතය.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, බස්නාහිර පළාතේ බරපතළ රෝගාබාධ ඇති ජනතාවට ද අඟහරුවාදා සිට දින තුනක් එන්නත් ලබාදෙන බවය. 1906 දුරකතන අංකය අමතා ඒ සඳහා ජනතාවට ලියාපදිංචි විය හැකි බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.