රනිල් සැත්කමට කියලා සිංගප්පූරු ගිය හේතුව හෙළිවේ - ලංකාවේ සැත්කම කළානම් රහස් පොලිසියෙන් එනවලු විශේෂ හෙළිදරව්වක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සැත්කම සඳහා සිංගප්පූරුව තෝරා ගැනීමට බලපෑ හේතු පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මීට පෙර හිටපු ජනාධිපතිවරයාට කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු රහස් පොලිසියට කැඳවා විටින් විට මානසික පීඩනයට ලක් කිරීම මීට ප්‍රධාන හේතුව වූ බවයි.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේදී ශල්‍යකර්මයකට ඉදිරිපත් වූයේ නම්, රජය සහ රහස් පොලිසිය කුමන ආකාරයෙන් හැසිරෙනු ඇත්ද යන්න පිළිබඳව බලවත් සැකයක් පවතින බව වජිර අබේවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය.

එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා කළ වෛද්‍යවරුන්ට සිදුකළ බලපෑම් හමුවේ, ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස විදෙස් රටක ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වසර 76ක් පුරා මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුළ දක්ෂ වෛද්‍යවරුන් නිර්මාණය කිරීමට හැකි වුවද, යහපත් රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීමට අසමත් වීම කණගාටුවට කරුණක් බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

විදෙස් රටක ප්‍රතිකාර ගැනීම තුළින් වෛද්‍යවරුන් රහස් පොලිසියට රැගෙන යාම වැනි ගැටලු සහ අනවශ්‍ය සැක සංකා ඇති නොවන බැවින්, පවතින තත්ත්වය හමුවේ ගත් හොඳම තීරණය එය බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.