අද (12) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රධාන වශයෙන් බස්නාහිර සහ දකුණු වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන් වේ.
මීගමුව සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
නිරිත දිශාවෙන් හමන සුළඟේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වන අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශවල එය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකිය.
පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්
සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, අනෙකුත් මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකිය.
පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං හමා යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරයි.