හෙට දින මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 24 ක අඛණ්ඩ සංකේත වැඩ වර්ජනයක් - මේ සේවකයන් සේවයෙන් ඉවත්වේ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියාමකවරුන් විසින් හදිසියේ ආරම්භ කිරීමට සැරසෙන දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හෙට 10 වැනිදා දිනය පුරාම දිවයිනේ සමස්ත දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල විය හැකි බව දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සංගමය නිල වශයෙන් පවසයි.
එම වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම් රුක්මල් බණ්ඩාර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ අද රාත්‍රී කාලයේ ධාවනය වීමට නියමිත ධාවන වාරයන් සාමාන්‍ය පරිදි අදාළ අවසාන ගමනාන්ත කරා ආරක්ෂිතව ධාවනය කරවීමට සියලුම නිලධාරීන් කටයුතු කරන නමුත්, හෙට උදෑසන සිට අලුතින් ධාවනය ආරම්භ කිරීමට නියමිත කිසිදු දුම්රියක් සඳහා තමන්ගේ සේවා ස්ථාන වෙත වාර්තා කිරීම් සිදු නොකිරීමට වෘත්තීය සංගමයක් ලෙස තීරණය කර ඇති බවයි.
ඒ අනුව හෙට දිනයේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 24 ක අඛණ්ඩ සංකේත වැඩ වර්ජනයක් ඉතා දැඩිව සිදු කිරීමට සියලුම සාමාජිකයින් තීරණය කළ බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
දුම්රිය බලධාරීන් සමඟ පවතින ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් රුක්මල් බණ්ඩාර මහතා මෙලෙස සිය කරුණු පැහැදිලි කර සිටියේය.
"දුම්රිය ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ දේපළ හා මගී ජීවිත අනතුරට ලක් කරමින් සහ දෙපාර්තමේන්තුවේ නීති පිළිබඳව කිසිදු තැකීමකට ලක් නොකරමින් දුම්රිය දොඹකර රථ දවස් කිහිපයක් තිස්සේ ධාවනය වෙලා තිබෙනවා. දවස් කිහිපයක් තිස්සේ අපි දැනුම්දීමක් කළා මේ තත්ත්වය නැවත ඇති වෙන්න ඉඩ තියන්න එපා කියලා. නමුත් ඒ තත්ත්වය නොසලකාහරිමි නැවතත් අවස්ථා දෙකකදි ධාවනය වෙලා තිබෙනවා. මේකට විරෝධය පළ කරමින් මේ වෙනුවෙන් කටයුතු කරපු, නියෝග නිකුත් කරපු අය ඉන්නවානම් ඒ අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කළා. නමුත් අපේ ඉල්ලීමට දක්වපු ඇල්මැරුණු ස්වභාවය හින්දා අපි සංකේත වැඩවර්ජනයකට යන්න තීරණය කළා'"