කටාර් ගුවන් සේවයටත් ලොකු නඩුවක් - ගුවනේදී දුන්න ආහාර නිසා වෛද්‍යවරයෙක් ජීවිතක්ෂයට
ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති, දකුණු කැලිෆෝනියාවේ ජීවත් වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ මරණය පිළිබඳව කටාර් ගුවන් සේවයට විරුද්ධව ඔහුගේ පුත්‍රයා නඩුවක් ගොනු කර ඇත.
ඒ ගමන අතරතුරදී විශේෂඥ වෛද්‍යවරයාට තමන් කලින් ඇණවුම් කළ නිර්මාංශ ආහාරය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ලබා දුන් මස් සහිත ආහාරයේ මස් 'වටේ කෑමට' උත්සාහ කිරීමේදී ආහාර කැබැල්ලක් සිරවීමෙන් මිය ගිය බවට චෝදනා කරමින්.
මිය ගිය 85 හැවිරිදි අසෝක ජයවීර නම් විශේෂඥ වෛද්‍යවරයා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් 2023 ජූනි 23 වන දින ලොස් ඇන්ජලීස් සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැය 15 හමාරක ගුවන් ගමන ආරම්භ වී පැය 2 හමාරකට පමණ පසු, ගුවන් යානයේ ආහාර සේවාව ආරම්භ වී තිබූ බවයි.
ඒ අනුව පවුලේ අය කරන ලද පැමිණිල්ලට අනුව, දැඩි නිර්මාංශිකයෙකු වූ ජයවීර නිර්මාංශ ආහාරයක් ඉල්ලා සිටිය ත් ගුවන් සේවිකාව ඔහුට දැනුම් දී ඇත්තේ නිර්මාංශ ආහාර ඉතිරි වී නැති බවයි.
එනිසා ඔහුට මස් සහිත ආහාරයක් පමණක් ලබා දිය හැකි බව ඇය පවසා ඇත. එසේම ගුවන් සේවිකාව මඟින් ඔහුට එම ආහාරයේ ඇති මස් 'වටේ කෑමට' උපදෙස් දී ඇති බව සඳහන්. ඒ අනුව ඔහු මස් සහිත ආහාරය'වටේ කෑමට'උත්සාහ කරමින් සිටියදී, එය සිරවී හුස්ම හිරවීමට පටන් ගත් බවට වාර්තා දැක්වේ.
එහිදී ගුවන් කාර්ය මණ්ඩලය මැදිහත් වී උපකාර කිරීමට උත්සාහ කර හදිසි අවස්ථා සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය උපදෙස් ලබා දෙන MedAire සේවාව අමතා ඇත.
එහිදී ඔහුගේ ඔක්සිජන් මට්ටම 69%ක් වශයෙන් නිරීක්ෂණය කර තිබෙන අතර 88% ට අඩු මට්ටමක් භයානක වශයෙන් සැලකේ.
කෙසේ වුවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ ඔක්සිජන් මට්ටම ඉන් පසු කිසි විටෙකත් 85% ඉක්මවා නැති බවයි.
එමෙන්ම මෙම අවස්ථාවේදී ගුවන් යානය විස්කොන්සින් ප්‍රාන්තය හරහා ගමන් කරමින් තිබුණ ද, නියමුවාට ගුවන් යානය වෙනතකට යොමු කිරීමට නොහැකි බව කාර්ය මණ්ඩලය වෛද්‍යවරයාගේ ගමන් සගයාට කියා ඇත.
ඊට හේතු වී ඇත්තේ ඔවුන් ඒ වන විටත් ආක්ටික් සාගරය හරහා ගමන් කරමින් සිටීමයි. මිය ගිය ජයවීරගේ පුත් සූර්යා තර්ක කරන්නේ, මෙහිදී ගුවන් යානය මිඩ්වෙස්ට් ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ හෙයින් පහසුවෙන් ගුවන් මාර්ගය වෙනස් කර වෛද්‍යවරයෙකු වෙත යාමට හැකිව තිබූ බවයි.
එහෙත් වෛද්‍යවරයාට සිහිසුන් වූ අතර ගුවන් යානය පසුව එක්සත් රාජධානියේ එඩින්බරෝ නගරයට ගොඩ බස්සවන තෙක් බලා සිටින්නට සිදුවී තිබෙන අතර, ඒ වන විටත් ඔහු පැය තුනහමාරකට ආසන්න කාලයක් සිහිසුන්ව සිට ඇත.
කෙසේ වුවද ඔහුව රෝහලට ගෙන ගියද 2023 අගෝස්තු 03 වන දින එඩින්බරෝහිදී ඔහු මිය ගොස් ඇත.
විදෙස් මාධ්‍ය මරණයට හේතුව ලෙස පෙනහළුවලට ආහාර හෝ දියර යාම නිසා ඇති වූ ආසාදනයක් වන'ඇස්පිරේෂන් නියුමෝනියාව' වාර්තා කළා.
එහෙත් වෛද්‍යවරයාගේ පුත්‍රයා වන සූර්යා ජයවීර ගොනු කරන ලද මෙම නඩුවෙන්, ‘නොසැලකිලිමත්කම සහ වළකාගත හැකිව තිබූ වැරදිසහගත මරණය’ සඳහා වන්දි ඉල්ලා තිබෙනවා. නඩුවට පදනම් වී ඇත්තේ ගුවන් සේවා වගකීම් පාලනය කරන ජාත්‍යන්තර ගිවිසුමක් වනමොන්ට්‍රියල් සම්මුතිය මත බව සඳහන්.
ඒ අනුව මරණ සහ තුවාල සඳහා නීත්‍යනුකූල ගෙවීමේ සීමාවක් එනම් දැනට ඩොලර් 175,000 ක පමණ නියම කිරීමට හැකි වේ.
එහෙත් ජයවීරගේ පුත් වන්දි ඉල්ලා සිටින්නේ මෙම මොන්ට්‍රියල් සම්මුති මාර්ගෝපදේශ ද ඉක්මවමින් බව වාර්තා වේ.