මිග් යානයක් සහ යුද ටැංකියක් මත නැඟ සිසුන් උද්ඝෝෂණයක - පංජාබ් විශ්වවිද්‍යාලයක උණුසුම් තත්ත්වයක්

By Malith Madushan Sep 27, 2026 12:25 PM GMT
Report

ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ෆග්වාරාහි පිහිටි Lovely Professional University (LPU) විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් විරෝධතාවක නිරත වීමත් සමඟ අද (27) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

විරෝධතාව අතරතුර එක් සිසුවෙකු විශ්වවිද්‍යාල භූමියේ ප්‍රදර්ශනය කර තිබූ ඉන්දීය ගුවන් හමුදාවේ MiG-23UM ගුවන් යානයක් මතට නැගී සිටින අයුරු දැක්වෙන දර්ශනද සංසරණය වී තිබේ. තවත් සිසුන් 10 දෙනෙකු පමණ විශ්වවිද්‍යාල භූමියේ තිබූ යුද ටැංකියක් මතට නැග සිටින අයුරුද වීඩියෝ දර්ශනවල දැක්වේ.

මෙම විරෝධතාව ආරම්භ වී ඇත්තේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක සිටි සිසුවියක බාහිර පුද්ගලයෙකු විසින් ලිංගික අතවරයකට ලක් කළ බවට පැතිර ගිය තොරතුරු හේතුවෙනි. කෙසේ වෙතත්, එම චෝදනා මේ වන විට ස්වාධීනව තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සැප්තැම්බර් 24 වැනිදා විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක සිටි සිසුවියකට ලිංගික අතවරයක් සිදුවූ බවට සිසුන් විසින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි. සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බැවින්, පොලිසිය මුලින්ම හඳුනා නොගත් පුද්ගලයෙකුට එරෙහිව නඩුවක් ලියාපදිංචි කර තිබේ.

වසර 100කට පසු නව පෙන්ගුවින් විශේෂයක් හඳුනාගැනෙයි - සුන්දර පෙන්ගුවින්වරුන් ගැන අපූරු සොයාගැනීමක්

වසර 100කට පසු නව පෙන්ගුවින් විශේෂයක් හඳුනාගැනෙයි - සුන්දර පෙන්ගුවින්වරුන් ගැන අපූරු සොයාගැනීමක්

පසුව අදාළ සිසුවියගේ ප්‍රකාශය ලබාගෙන නඩුවක් ලියාපදිංචි කර ඇති බව ජලන්ධර් පරාසයේ නියෝජ්‍ය පොලිස්පති නවීන් සිංග්ලා සඳහන් කර තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) පත් කර ඇති අතර, එය ෆග්වාරා පොලිස් අධිකාරී මේජර් සිංගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

විමර්ශනයේදී අධිකරණ වෛද්‍ය සාක්ෂි, CCTV දර්ශන සහ දුරකථන දත්ත පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි. මේ අතර විරෝධතාව අතරතුර විශ්වවිද්‍යාල භූමියේ ජනෙල් වීදුරු සහ මල් පෝච්චිවලට හානි සිදුවී ඇති බව දර්ශනවලින් පෙනී යයි.

ඇතැම් ගොඩනැගිලි කොටස් සහ භාණ්ඩ ගිනි ගෙන ඇති අයුරුද වීඩියෝ දර්ශනවල දැක්වේ. විශ්වවිද්‍යාල භූමියේ ඇතැම් වෙළෙඳසැල්වලටද හානි සිදුවූ බවට වාර්තා වී තිබේ.

විරෝධතාව හේතුවෙන් ජලන්ධර්–ෆග්වාරා ජාතික මහා මාර්ගයේ ගමනාගමනයද අවහිර වී තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා ජලන්ධර් පරාසයේ විවිධ ප්‍රදේශවලින් පොලිස් බලකා කැඳවා ඇති අතර, රථවාහන වෙනත් මාර්ග ඔස්සේ හරවා යැවීමටද කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, Lovely Professional University පාලනාධිකාරිය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. විශ්වවිද්‍යාල රෙජිස්ට්‍රාර් මොනිකා ගුලාටි සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බවයි.

විශ්වවිද්‍යාලය පවසන්නේ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ප්‍රචාරය කරන බවයි. එබැවින් සිසුන්, දෙමාපියන් සහ මහජනතාව නිල මාර්ග ඔස්සේ නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙසද විශ්වවිද්‍යාලය ඉල්ලා තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයට අමතරව සිසුන් තවත් ඉල්ලීම් කිහිපයක්ද ඉදිරිපත් කර ඇති බවයි. ඒ අතර කාන්තා නේවාසිකාගාරවල සියලුම කාර්ය මණ්ඩලය කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කිරීමේ ඉල්ලීමක්ද ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.

''AI නියාමනය නොකළොත් මිනිසුන් බිලියනයක් මිය යා හැකියි'' - බිල් ගේට්ස්ගෙන් මනුෂ්‍ය සංහතියට දැඩි අනතුරු ඇඟවීමක්

''AI නියාමනය නොකළොත් මිනිසුන් බිලියනයක් මිය යා හැකියි'' - බිල් ගේට්ස්ගෙන් මනුෂ්‍ය සංහතියට දැඩි අනතුරු ඇඟවීමක්