දිවයිනේ ප්‍රදේශ රැසකට ඇම්බර් මට්ටමේ උණුසුම් කාලගුණ අවවාදයක්- තාප දර්ශකය ‘අවදානම්’ මට්ටමට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා ඇම්බර් මට්ටමේ උණුසුම් කාලගුණ අවවාදයක් නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට (28) දිනයේදී ප්‍රදේශ කිහිපයක තාප දර්ශකය ‘අවදානම’ මට්ටම දක්වා ඉහළ යා හැකි බවයි.
පස්වරු 4.00ට ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මෙම උපදේශනය අද (27) උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මොනරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශ සඳහා බලපැවැත්වෙනවා. දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘පරෙස්සම්’ මට්ටම දක්වා ඉහළ යා හැකි බවයි.
සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය පදනම් කරගෙන තාප දර්ශකය ගණනය කෙරෙන අතර, එමගින් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්ව මට්ටම පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා.
එය උපරිම වායු උෂ්ණත්වය පිළිබඳ අනාවැකියක් ලෙස නොසැලකිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
උෂ්ණත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට දැනුම් දී තිබෙනවා.
එළිමහනේ සේවය කරන පුද්ගලයන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් සජලනය වී සිටින ලෙසත්, සෙවන සහිත ස්ථානවල නිතර විවේක ගන්නා ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කර හැකිතාක් සෙවන සහිත ස්ථානවල රැඳී සිටින ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් පිළිබඳ අවධානය යොමු කරන ලෙසත්, දරුවන් කිසිවිටෙකත් නොසැලකිලිමත් ලෙස වාහන තුළ තනිව නොතබන ලෙසත් රියදුරන්ට අවවාද කර තිබෙනවා.
තවද, දිවා කාලයේදී සැහැල්ලු, සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසද ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.
