ජනාධිපති කාර්යාලයෙන් තහනම් කළ සෞඛ්‍ය උපකරණ තොගයක් ගෙන්වීමට සැරසෙන කණ්ඩායමක් ගැන අනාවරණයක්.

Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka
By Wayomi Mar 04, 2023 07:33 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති කාර්යාලය මගින් නතර කර තිබියදීත්, ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීම නැවත ඒවා මිලදී ගැනීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

ඒවා අවශ්‍ය තරම් වෛද්‍ය සැපයුම් අංශය සතුව තිබියදීත් ප්‍රමිතියෙන් තොර පටි සහ මාපක මිලදී ගැනීම පිටුපස මහාපරිමාණ මූල්‍ය වංචාවක් තිබෙන බවට සැක කරන බවද වාර්තා වෙනවා.

ඉන්දියානු සමාගමකින් ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර අවස්ථා කීපයක දී උත්සාහ ගත් අතර ඒ පිළිබඳව විවිධ පිරිස් චෝදනා කිරීම නිසා ජනාධිපති කාර්යාලය මැදිහත් වී පරීක්ෂණයක් පවත්වා ඒවා මිලදී ගැනීම නතර කර තිබිණි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 38ක පමණ මුදලක් වැයකර ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්ෂණ පටි සහ මාපක මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර සූදානම් වූයේ ඖෂධ අධිකාරියේ ලියාපදිංචියක්වත් ලබාගෙන නොමැති සමාගමකිනි.

දියවැඩියා පරීක්ෂණ පටියක් රුපියල් 15ක් වැනි මිලකට මිලදී ගැනීමට හැකි වුවත් ප්‍රමිතියෙන් තොර පරීක්ෂණ පටියක් එවර රුපියල් 85 ක් වැනි වැඩි මිකට මිලදී ගැනීමට සැලසුම් කර තිබූ බව සඳහන්.

නමුත් මෙවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම පටි සහ මාපක මිලදී ගැනීමට තාවකාලික අවසරයක් ලබාදී ඇති බවත් සඳහන්.

වෛද්‍ය සැපයීම් අංශයට ඉකුත් දිනවල ටෙන්ඩර් පටිපාටිය යටතේ දියවැඩියා පරීක්ෂණ පටි ලක්ෂ 10ක් සහ මාපක 5000ක් ලබාගෙන ඇති අතර මේ වන විට ඒවායේ හිඟයක් නැති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW