අසරණ ජනතාවට මුදල් දෙන්නයි ජනපතිගෙන් නියෝග..
අසරණ ජනතාවට මුදල් දෙන්නයි ජනපතිගෙන් නියෝග.. බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජනාධිපති අරමුදලේ විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩමුළුවේ අරමුණ වූයේ ජනාධිපති අරමුදලේ කටයුතු බස්නාහිර පළාතේ කොළඹ, කළුතර, සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ප්‍රායෝගික දැනුම ලබා දීමයි.
වැඩමුළුවේදී ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා විසින් රාජ්‍ය සේවකයන් සහ මහජනතාව අතර යහපත් සබඳතා ගොඩනඟා ගැනීම සහ ඒවා පවත්වා ගැනීම පිළිබඳ අදහස් දැක්වීමක් සිදු කෙරිණි. එසේම, පරිගණක පද්ධති ආරක්ෂාව සහ භාවිතය, වෛද්‍යාධාර අයැදුම්පත් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා ක්‍රියාවලිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක පද්ධති හරහා කටයුතු පරීක්ෂා කිරීම, අනුමත වෛද්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය, සහ නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කළේ, ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ අතිශය අසරණ ජනතාවට සේවා ලබා දීම බවත්, ප්‍රාදේශීය ලේකම් මට්ටමින් සේවාවන් ව්‍යාප්ත කිරීමෙන් වැඩි පිරිසකට පහසුවෙන් සේවා ලබා ගැනීමට හැකි වී ඇති බවත්ය.
එමෙන්ම, මෙම සේවාවේ වැදගත්කම රාජ්‍ය නිලධාරීන් විසින් තේරුම් ගෙන ඇති බවත්, රජයේ ජනතා සුබසිද්ධි වැඩපිළිවෙළ සාර්ථක කිරීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවත් ඔහු පැවසීය. අසරණ රෝගීන් වෙනුවෙන් මෙම සේවාව තවදුරටත් වර්ධනය කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා පෙන්වා දුන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පරිගණක පද්ධතියට රෝගීන්ගේ අයැදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත්, ඉන් 40%ක් පමණ බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබුණු බවත්ය. 2025 පෙබරවාරි 7 වැනිදා සිට ආරම්භ වූ ජනාධිපති අරමුදලේ කටයුතු විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, මේ වන විට ලැබෙන අයැදුම්පත්වලින් 80%ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන බව ඔහු සඳහන් කළේය.
වැඩමුළුවට සහභාගී වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන්ට සහතිකපත් පිරිනැමීමද මෙහිදී සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන පී. එච්. කොළඹගේ, පී. ආර්. ප්‍රසාද් පෙරේරා, ජනාධිපති අරමුදලේ ප්‍රධාන ගණකාධිකාරී ඩී. ඒ. එම්. වික්‍රමරත්න, ජනාධිපති සහකාර ලේකම් උෂානි රත්නායක ඇතුළු ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
