අද දිනයේ විදුලි කප්පාදුව පිළිබද දැනුම් දීමක්
අද දිනයේ දී විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් සිදුකර නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
පවතින ධාරිතාව මගින් ඉල්ලුම සපුරාලිය හැකි බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ. මේ අතර, බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලැබුණහොත් අද දිනය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.
ගෙවුණු සතිඅන්තය තුළ ජාතික විදුලි ඉල්ලුම සාමාන්‍ය මට්ටමක පැවති අතර ඊයේ රාත්‍රියේ එම අගය මෙගාවොට් 2374.1 ක පැවතුණා. විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරන්නේ අද දිනයේ විදුලි ඉල්ලුම ඉහළ යා හැකි බවයි. කෙසේවෙතත් මහජන උපයෝගිතා කොමිසම ඊයේ පැවසුවේ, අද දිනය තුළ මෙගාවොට් 2750ක පමණ විදුලි ප්‍රමාණයක් පරිභෝජනය වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවයි.
එවැනි විදුලිය ප්‍රමාණයක් උත්පාදනය සඳහා හැකියාවක් නැති බව එම කොමිසම ප්‍රකාශ කළා. ඒ අනුව අද දිනයේ විදුලිය උත්පාදනය සඳහා තාප බලාගාර සතුව ඇති ඉන්ධන සංචිතයන් පිළිබඳ අප සොයා බැලීමක් සිදුකළා. පසුගිය දින කිහිපයේ ඉන්ධන නොමැතිව අක්‍රීය කර තිබූ කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා අවශ්‍ය සම්පූර්ණ නැප්තා ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අද අලුයම් කාලයේදී ලැබී තිබෙනවා.
එම බලාගාරයෙන් මෙගාවොට් 165ක් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන අතර කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් උත්පාදනය කෙරෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 115ක්. මේ අතර අළුත්වැඩියා කටයුත්තක් සඳහා අක්‍රිය කෙරුණු කැලණිතිස්ස සොජිට්ස් පුද්ගලික බලාගාරයද යළි ජාතික විදුලි ජනන පද්ධතියට එක්කිරීමෙන් පසු එමඟින් මෙගාවොට් 160ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා
. සපුගස්කන්ද බලාගාර සංකීර්ණයටද අවශ්‍ය දැවිතෙල් සති අන්තයේ ලැබී තිබූ අතර මේ වනවිට සුපුරුදු ධාරිතාවෙන් එහි විදුලි උත්පාදනය කරන බව විදුලිබල මණ්ඩලය දැනුම් දුන්නා. කෙසේවෙතත් කොළඹ වරායේ බත්තල බලාගාරය අද පෙරවරුවේ යළිත් වරක් අක්‍රීය කර තිබෙනවා. ඒ විදුලි උත්පාදනයට ප්‍රමාණවත් තරම් ඉන්ධන එම බලාගාරය සතු නොවීමෙන්.
මේ හේතුවෙන් මෙගාවොට් 60ක් විදුලි පද්ධතියට අද දිනයේ අහිමි වනවා. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පැවසුවේ බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලැබුණහොත් අද දිනය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවා.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දැමුණූ අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 184ක් ලෙසයි. එක්ස්ට්‍රා ප්‍රිමියම් හෙවත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 213ක්. මීට අමතරවල ලංකා IOC ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ 124ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |