හෙට දිනයේ විදුලි කප්පාදුවක්.. සම්පූර්ණ විස්තරය

By Sithumi Jan 09, 2022 04:11 PM GMT
Sithumi

Sithumi

Report

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි හෙට (10) සිට විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (09) ප්‍රකාශ කළේය. 

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ අවශ්‍යතාවක් පැන නැඟුනහොත් පමණක් විදුලිය විසන්ධි කරන බවය. කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීම හේතුකොට ගෙන පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී තිබුණි. 

 මෙවැනි වාතාවරණයක විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. විදුලිබල මණ්ඩලය පැවසුවේ දැවි තෙල් ගැටලුව සහ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයවීම නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම ඉල්ලීම ඉදිරිපත් කළ බවය. 

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද එම ඉල්ලීමට අවසර ලබාදී තිබුණි. ඒ අනුව හෙට සිට විදුලිය විසන්ධිකිරීමක් සිදුවන්නේ දැයි ලංකා විදුලිබල මණ්ඩලයෙන් අද දෙරණ විමසීමක් කළේය. 

මණ්ඩලය පැවසුවේ හෙට සිට විදුලි විසන්ධිකිරීමක් සිදුකිරීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවය. අවශ්‍යතාවක් මතු වුවහොත් පමණක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now