දුප්පත්කම ආපහු ඉහලට
2025 ජනවාරි වනවිට ලංකාවේ නිල දරිද්‍රතා මායිම් අගය රුපියල් 16,334 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද දත්ත තුළින් හෙළිවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
ලංකාවේ නිල දරිද්‍රතා මායිමේ අගය 2024 ඔක්තෝබර් වනවිට රුපියල් 15,994 දක්වා ක්‍රමයෙන් අඩුවෙමින් පැවැතිණි. මෑත කාලය තුළ වැඩිම අගය වාර්තා වන්නේ 2024 ජනවාරි මාසය තුළ වන අතර, එය රුපියල් 17,014කි. 2024 ජනවාරි වනවිට කොළඹ නගරයේ නිල දරිද්‍රතා මායිමේ අගය රුපියල් 18,350ක් ලෙස වාර්තා වන අතර, ගම්පහ නගරයේ රුපියල් 18,256ක් ලෙස වාර්තා වේ.
එසේ වුවද එය 2024 ඔක්තෝබර් මාසය වනවිට කොළඹ නගරයේ රුපියල් 17,250ක් දක්වාත්, ගම්පහ නගරය සඳහා රුපියල් 17,161ක් දක්වාත් පහළ ගොස් තිබිණි. 2025 ජනවාරි වනවිට කොළඹ නගරයේ නිල දරිද්‍රතා මායිම රුපියල් 17,617 දක්වාත්, ගම්පහ නගරයේ රුපියල් 17,526 දක්වාත් නැවත ඉහළ යෑමක් පෙන්නුම් කරයි.
නිල දරිද්‍රතා මායිමේ අගය මේ ආකාරයෙන් ඉහළ යෑම තුළ යම් ආකාරයකට රටෙහි දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව ඉහළ යෑමක් පෙන්නුම් කළ හැකිය. පසුගිය කාලය තුළ ජනතාවගේ ආදායම් තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑමක් පෙන්නුම් නොකරන ලද බැවින් රට තුළ ඉතා ඉහළ මට්ටමක දරිද්‍රතාවක් මේ වනවිටත් පවතී.
නිල දරිද්‍රතා මායිම ලංකාවේ විවිධ දිස්ත්‍රික්ක අතර යම් ආකාරයක විවිධත්වයක් පෙන්නුම් කළද සාපේක්ෂව ග්‍රාමීය සහ වතු අංශය තුළත්, ධීවර ප්‍රජාව තුළත් දරිද්‍රතාව තවමත් ඉහළ මට්ටමක පැවැතිය හැකි බවද මහාචාර්යවරයා පැවැසීය.
