“පෝට් සිටියේ නව ව්‍යාපාර රැසකට දොරටු විවර වෙයි - ව්‍යාපාර 68කට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවට”
කොළඹ වරාය නගරයේ ආයතන 68ක් “උපායමාර්ගික වැදගත්කමක් සහිත ද්විතීයික ව්‍යාපාර” ලෙස නම් කරමින් නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේය. අදාළ ව්‍යාපාර අතර තොරතුරු තාක්ෂණ, උපදේශන සේවා, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබාගැනීමේ (BPO) සේවා, සැපයුම් හා ලොජිස්ටික්ස්, යටිතල පහසුකම්, ඒකාබද්ධ ව්‍යාපාර ආකෘති මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් ද ඇතුළත් වේ.
අදාළ ව්‍යාපාර 68 “උපායමාර්ගික වැදගත්කමක් සහිත ද්විතීයික ව්‍යාපාර” ලෙස නම් කරමින් 2026 අප්‍රේල් 10 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ආයතන 68 සඳහා මූලික අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් මාර්තු 30 වැනිදා ලබාදී තිබූ අතර, ඉන් අනතුරුව අදාළ රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පෝට් සිටිය තුළ විනිවිදභාවයෙන් යුතු සහ කාර්යක්ෂම පරිසරයක් ස්ථාපිත කිරීමට රජය අවධානය යොමු කර ඇති බවයි.
අතීතයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු සහ ආයෝජකයන්ගේ හිඟය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ කොළඹ වරාය නගරය ආයෝජකයන්ට හිතකර පරිසරයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.
ඒ සඳහා අවශ්‍ය නීතිමය හා ආයතනික රාමුව සකස් කිරීම මෙන්ම දැනට පවතින බාධක ඉවත් කිරීම මේ වනවිට සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.