කොළඹ වාහන තදබදයට තිත - වරාය පිවිසුම ගාලු මුවදොරට යා කෙරේ, මැරීන් ඩ්‍රයිව් මොරටුව දක්වා
කොළඹ වරාය පිවිසුම් මාර්ගය ඔස්සේ ගාලු මුවදොර සහ ලෝටස් වටරවුම අසලින් කොළඹ අධිවේගී මාර්ග ජාලය නගරයට සම්බන්ධ කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, වරාය පිවිසුම් මාර්ගයේ මූලික සැලසුම්වල ගැටලු කිහිපයක් හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රවේශ ස්ථාන සහ ඉඩම් අත්පත් කර ගැනීම් පිළිබඳ අධ්‍යයන මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම, වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් 2026 අගෝස්තු මාසය වන විට අවසන් කළ හැකි බව අදාළ ඉදිකිරීම් සමාගම දැනුම් දී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
වරාය පිවිසුම් මාර්ගය ගාලු මුවදොර සහ ලෝටස් වටරවුමට සම්බන්ධ කිරීමෙන් අනතුරුව, එම ප්‍රදේශවල වාහන ගමනාගමනයේ ඇතිවිය හැකි වැඩිවීම පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, මැරීන් ඩ්‍රයිව් වෙරළබඩ මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමේ සැලසුමද රජය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ව්‍යාපෘති මගින් කොළඹ සහ අවට ප්‍රදේශවල පවතින රථවාහන තදබදයට දිගුකාලීන විසඳුම් ලබාදීම රජයේ අරමුණ බවයි.