සත්ව ආහාරවලට බඩ ඉරිඟු ගේන්න අවසර
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ දී තීරණයට එළඹ ඇත.
බඩ ඉරිගු ආනයනයේදී නව ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා එය ක්‍රියාත්මක වන තුරු පැරණි ක්‍රමවේදය පවත්වාගෙන යාමට උපදෙස් ලබා දුන්නේය.
එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිඟයකින් තොරව සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර පිළිබඳව ද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (3) රැස් වූහ.
අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී.සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහත්වරුද අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
