රටකජු මිල පහතට.. රටකජු වගාවෙන් ඉවත් වන බවට ගොවීන් අනතුරු අඟවයි
රටකජු අස්වැන්න නෙළීමත් සමඟම එහි ගැනුම් මිල පහත වැටීම හේතුවෙන් දේශීය රටකජු ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.
ඒ අනුව ලග්ගල කළුගඟ සහ මොරගහකන්ද ජලාශ වෙනුවෙන් ඉඩම් ලබා දුන් ජනතාවට රජයෙන් ලබා දුන් ඉඩම්වල වගා කරන ලද මෙම රටකජු වගාවේ අස්වනු මේ වන විට නෙළා ඇති බව සඳහන්.
එසේම අස්වැන්න මිලදී ගැනීමට ගැනුම් මිල පහත වැටීම නිසා තම නිෂ්පාදන වියදම හෝ අවම කර ගැනීමට නොහැකිවී ඇති බව එම ගොවීන් පෙන්වා දෙයි.
පසුගිය කන්නවල රටකජු අස්වැන්නට සාර්ථක මිලක් ලැබීම නිසා මෙවරද ඔවුන් මෙම වගාව ආරම්භ කළ බව එම ගොවිජනතාව සඳහන් කරයි.
එම ගොවීන් පෙන්වා දෙන්නේ අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමඟම රුපියල් 500ත් 600ත් අතර මිලකට අලෙවි වූ වියළි රටකජු කිලෝවක් මේ වන විට රුපියල් 350ත් 370ත් දක්වා පහත වැටී ඇති බවයි.
එමෙන්ම ඔවුන් ප්‍රකාශ කරන්නේ රටකජු වගා කිරීම සහ අස්වනු නෙළීම ඇතුළු නිෂ්පාදන කටයුතුවලට විශාල පිරිවැයක් සහ මහන්සියක් දැරීමට සිදුවන බවයි.
ඊට අමතරව මාතලේ ලග්ගල ප්‍රදේශයේ රටකජු ගොවීහු පෙන්වා දෙන්නේ කජු බීජ කිලෝවක් රුපියල් 850ත් 1000ත් අතර ඉහළ මිලක පැවතීම, අස්වනු නෙළීමට කම්කරු කුලිය ඉතා අධිකවීම සහ රටකජු වියළා ගැනීම සඳහා දැරීමට සිදුවන වෙහෙස ආදී සියල්ල සැලකිල්ලට ගනිමින්, වියළි රටකජු කිලෝවක් සඳහා අවම ලෙස රුපියල් 500ත් 600ත් අතර මිලක් ලැබුණහොත් පමණක් ලාභයක් ලබා ගැනීමට හැකි වන බවයි.
එසේම මෙසේ නිසි මිලක් නොලැබුණහොත් ඉදිරියේදී රටකජු වගාවෙන් ඉවත් වන බවටද ගොවීන් අනතුරු අඟවයි.
මේ අතර මින් පෙර ද ලග්ගල ප්‍රදේශයේ ගොවීන් මුං ඇට, සෝයා බෝංචි, කව්පි සහ තල ආදී ධාන්‍ය වර්ග වගා කළ අවස්ථාවලදීද නිසි මිලක් නොලැබීම හේතුවෙන් එම වගාවන්වලින් බොහෝ දෙනකු ඉවත් වීම විශේෂත්වයක්.
එබැවින් මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස කජු ගොවීන් ඉල්ලා සිටියි.