කාවන්තිස්ස වෙනුවෙන් පරිසර අපරාධකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අගමැතිනිය කියයි
ජාතික වස්තුවක් ලෙස සැලකුණු “කාවන්තිස්ස” හස්තියාගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් රජය දැඩි කම්පාවට පත්ව සිටින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
මෙවැනි පාරිසරික අපරාධ සිදුකරන පුද්ගලයන්ට තරාතිරම නොබලා පරිසර නීතිය දැඩිව ක්රියාත්මක කරන බව ද ඇය අවධාරණය කළාය. අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළේ අද (19) බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති “ජනාධිපති පරිසර සම්මාන 2026” ප්රදානෝත්සවය අමතමිනි.
පරිසර අමාත්යාංශය යටතේ ක්රියාත්මක මධ්යම පරිසර අධිකාරිය විසින් 11 වැනි වරටත් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
ස්වාභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කරමින් පරිසර සංරක්ෂණයට දායක වූ ආයතන ඇගයීම සඳහා එහිදී රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන 195ක් පිරිනැමිණි.
රටක සමෘද්ධිය මැනිය යුත්තේ ආර්ථික දර්ශකවලින් පමණක් නොවන බව පෙන්වා දුන් අග්රාමාත්යවරිය, පිරිසිදු වාතය, පානීය ජලය සහ සෞඛ්ය සම්පන්න පරිසර පද්ධතියක් ජනතාවගේ යහපත් ජීවිතයට අත්යවශ්ය බව සඳහන් කළාය.
කාවන්තිස්සගේ මරණයෙන් පසු මෙවැනි ඛේදජනක සිදුවීම් යළි ඇතිවීමට ඉඩ නොතබන බව ද ඇය ප්රකාශ කළාය. තනතුරු, ධනය හෝ වෙනත් බලපෑම් හේතුවෙන් පරිසර නීතිය වෙනස් නොවන බව අවධාරණය කළ අග්රාමාත්යවරිය, ව්යාපෘති අනුමත කිරීම සහ බලපත්ර නිකුත් කිරීම විද්යාත්මක සාක්ෂි මත හා පූර්ණ විනිවිදභාවයකින් සිදුකළ යුතු බව ද පැවසුවාය.
පරිසරය විනාශ කරමින් සිදුකරන කිසිදු සංවර්ධන කටයුත්තක් තිරසාර නොවන බව පෙන්වා දුන් ඇය, වනසතුන්ට වෛද්ය ප්රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළ සහ පශු වෛද්ය අධ්යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව ද සඳහන් කළාය.
අලි-මිනිස් ගැටුම අවම කිරීමට පියවර
දිගුකාලීන අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා වනාන්තර 113ක් රක්ෂිත බවට පත් කරමින් හෙක්ටයාර 71,900ක භූමි ප්රමාණයක් ආරක්ෂිත ප්රදේශ ලෙස නම් කර ඇති බව ද අග්රාමාත්යවරිය පැවසුවාය.
ඊට අමතරව අලිමංකඩ තුනක් සහ අලි කළමනාකරණ රක්ෂිතයක් ස්ථාපිත කිරීමේ කටයුතු ද සිදුකෙරෙමින් පවතී. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්ර කටයුතු ශක්තිමත් කිරීම සඳහා නව වාහන සහ උපකරණ ලබාදී ඇති බව ද ඇය සඳහන් කළාය.
වසර 26කට පසු පරිසර පනත සංශෝධනය කිරීමටත්, නව නිලධාරීන් 1,600කට අධික පිරිසක් බඳවා ගැනීමටත් කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර හරිත තාක්ෂණය වෙත යොමු කිරීම මෙන්ම පාසල් හා විශ්වවිද්යාල අධ්යාපනය තුළ ප්රායෝගික පරිසර කුසලතා ප්රවර්ධනය කිරීම සඳහා ද රජය කටයුතු කරන බව අග්රාමාත්යවරිය වැඩිදුරටත් කියා සිටියාය.