HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් පිට වෙයිද? විපක්ෂ නායක සජිත් කණගාටුවට

Report

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දැඩි කනස්සල්ල පළකරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් වන HSBC බැංකුවේ ගෝලීය සේවා මධ්‍යස්ථානය (HSBC Global Service Centre) මෙරටින් ඉවත් කර පිලිපීනය වෙත රැගෙන යාමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වන බවයි.

ඔහු පෙන්වා මෙමඟින් මෙරට තරුණ ප්‍රජාවට හිමිව ඇති දහස් සංඛ්‍යාත වෘත්තීය රැකියා අවස්ථා අහිමි වී ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.

සිය 'X' ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටින්නේ, විදේශීය ආයෝජන මහා පරිමාණයෙන් මෙරටින් ඉවත්ව යන අයුරු හුදු නරඹන්නන් සේ බලා සිටිනවා වෙනුවට, රට තුළට වැඩි වශයෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට පියවර ගත යුතු නොවේද යන්නයි.

තමන් වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව, 2027 වසරේ දෙසැම්බර් මාසය වන විට HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානයේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පිලිපීනය වෙත විතැන් කිරීමට නියමිත බවත්, එමඟින් ශ්‍රී ලංකාව තුළ පවතින සෘජු රැකියා 3,000ක් සහ වක්‍ර රැකියා 500ක් පමණ අහිමි වීමේ බරපතළ අවදානමක් පවතින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

මෙම පුවත අසත්‍ය එකක් වේවායි තමන් ප්‍රාර්ථනා කරන බව පවසන සජිත් ප්‍රේමදාස මහතා, යම් හෙයකින් මෙම තොරතුරු සත්‍යයක් වුවහොත් එය මෙරට ආර්ථික ක්ෂේත්‍රයට එල්ල වන ප්‍රබල පසුබෑමක් වනු ඇති බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියි.