"ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ" - ගොවි ජනතාව මුහුණ දෙන අර්බුදය ගැන සජිත්ගෙන් චෝදනා පත්‍රයක්
වර්තමානයේ වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත ජනතාව දැඩි ආර්ථික පීඩනයකට සහ අසාධාරණකම් රැසකට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය, නාච්චදූව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, ගොවීන් උගස් සහ ණය ලබාගෙන වගා කටයුතු ආරම්භ කළද, ගුණාත්මක බීජ වී, පොහොර සහනාධාර සහ අවශ්‍ය කෘෂි යෙදවුම් නියමිත පරිදි නොලැබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි.
කෘෂි රසායන, පොහොර, ඉන්ධන සහ කෘෂි උපකරණවල මිල ඉහළ යාමත්, ගොවි උපකරණ සඳහා බදු පැනවීමත් ගොවීන්ගේ පිරිවැය තවදුරටත් ඉහළ නංවා ඇති බවද ඔහු පැවසීය.
බුද්ධි අංශ වාර්තා නිසා දෙවිනුවර විෂ්ණු දේවාල පෙරහැරේ අලුත්ම තීරණයක්- පොලිස්පතිගෙන් බස්නායක නිලමේට ලිපියක්
වී නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැයට සාපේක්ෂව ගොවීන්ට සාධාරණ සහ ස්ථාවර මිලක් නොලැබෙන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ආරක්ෂා කිරීම තුළින් වී සඳහා සාධාරණ වෙළෙඳපොළක් නිර්මාණය කළ යුතු බවද සඳහන් කළේය.
එසේම, දේශීය වී නිෂ්පාදනය දිරිගැන්වීම වෙනුවට සහල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය ගොවියාට අසාධාරණයක් සිදුවන බවටද ඔහු චෝදනා කළේය.
සමගි ජන බලවේග රජයක් යටතේ ගොවීන්ට නවීන තාක්ෂණය, සාධාරණ පිරිවැයකින් ප්‍රාග්ධන පහසුකම් සහ නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාදෙන බවටද සජිත් ප්‍රේමදාස මහතා එහිදී ප්‍රතිඥා දුන්නේය.
තවද, පාර්ලිමේන්තුව තුළ ගොවි ජනතාවගේ අයිතිවාසිකම්, ස්ථාවර මිලක් සහ ඔවුන් මුහුණ දෙන ගැටලු වෙනුවෙන් අඛණ්ඩව හඬ නඟන්නේ සමගි ජන බලවේගය බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.