ඉන්දියානු දේශපාලනය කැළඹූ ඔපරේෂන් ටයිගර් – අභ්‍යන්තර සැලසුම් ගැන වාර්තා එළියට
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දේශපාලනය තුළ දැඩි කතාබහට ලක්ව ඇති “ඔපරේෂන් ටයිගර්” නමින් හැඳින්වෙන දේශපාලන මෙහෙයුම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මහාරාෂ්ට්‍ර උප ප්‍රධාන අමාත්‍ය එක්නාත් ෂින්ඩේගේ නායකත්වයෙන් යුතු ෂිව සේනා පාර්ශ්වය විසින්, උද්ධව් තාකරේ නායකත්වය දරන ෂිව සේනා (UBT) පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් තම කඳවුරට එක්කර ගැනීම සඳහා මෙම ක්‍රියාන්විතය දියත් කර ඇති බව සඳහන් වේ.
ෂින්ඩේ පාර්ශ්වයේ නායකයෙකු වන කෘපාල් තුමානේ පවසා ඇත්තේ, උද්ධව් තාකරේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සමඟ පැවැති සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවත් ඔවුන් පාර්ලිමේන්තු සැසිවාරයට පෙර ෂින්ඩේ පාර්ශ්වයට එක්විය හැකි බවත්ය.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ උද්ධව් තාකරේ පාර්ශ්වයේ ලෝක් සභා මන්ත්‍රීවරුන් හය දෙනෙකු වෙනම කණ්ඩායමක් පිහිටුවා ෂින්ඩේ පාර්ශ්වය සමඟ එක්වීමට තීරණය කිරීම, මෙම මෙහෙයුමේ විශාලතම ජයග්‍රහණය ලෙස සැලකේ.
මෙම දේශපාලන තත්වය හේතුවෙන් ෂින්ඩේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු බලය තවදුරටත් ශක්තිමත් වන අතර, මහාරාෂ්ට්‍ර දේශපාලනයේ බල තුලනයටද සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, පක්ෂය තුළ ඇතිව තිබෙන කැළඹිලි තත්ත්වය හමුවේ උද්ධව් තාකරේ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ නායකයන් හදිසි රැස්වීමකට කැඳවා ඇති බවද වාර්තා වේ.
2022 වසරේ සිදු වූ විශාල පක්ෂ බෙදීමෙන් පසු, ෂින්ඩේ පාර්ශ්වය විසින් උද්ධව් තාකරේගේ දේශපාලන බලය තවදුරටත් දුර්වල කිරීමේ උත්සාහයක නිරත වන බව දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති.