ඔෆිස් වේලාවන් වෙනස් කරන්න යයි..!!හේතුව මෙන්න..

Government Sri Lanka Office time
By Aruna Feb 21, 2022 02:01 AM GMT
Aruna

Aruna

Report

කාර්යාලවල රාජකාරී ආරම්භ කිරීමේ වේලාවන්හි වෙනසක් සිදුකළ යුතු ද යන්න පිළිබඳ අද පැවැත්වෙන ජාතික කම්කරු උපදේශක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

රථවාහන තදබදය අවම කිරීමේ පියවරක් ලෙස කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර ඉන්ධන හා විදුලිය භාවිතයේදී අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට අදාළ රජයේ ආයතන සහ දෙපාර්තමේන්තුවලට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් නව චක්‍රලේඛයක් අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසුවේ, අද දිනයේදී අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවයි.

මේ අතර, ඉන්ධන නොමැති වීම හේතුවෙන් බලාගාර කිහිපයක් ක්‍රියාත්මක නොවන පසුබිමක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, විදුලි උත්පාදනය සඳහා තාප බලාගාරවලට ඉන්ධන සැපයීම ගැටලු‍කාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඔහු සඳහන් කළේ, විදුලි බල අමාත්‍යාංශය අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන ආනයනය කරන බවට දැරූ ස්ථාවරය හේතුවෙන් මෙම ගැටලු‍ව මතු වූ බවයි.

මේ අතර, ඊයේ දිනයේත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණේ ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඩීසල්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකා 05 ක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.

එක් නෞකාවකින් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ඉන්ධන තොගයක් රැගෙන එන අතර, සභාපතිවරයා පැවසුවේ, ඒ අනුව මේ වනවිට පවතින ඉන්ධන හිඟය ඉදිරියේදී පහව යනු ඇති බවයි.

මුදල් ගෙවීමේ පදනම මත ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට සූදානම් බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර, මෙරට දෛනික ඉන්ධන ඉල්ලු‍ම මෙට්‍රික් ටොන් 5,500 ත් 6,000 ත් අතර මට්ටමක පවතින නමුත් පසුගිය සිකුරාදා දිනයේදි එහි ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් මෙටි්‍රක් ටොන් 9,500 ක් ලෙස දැක්වුණා.

සපුගස්කන්ද ඒ සහ බී. බලාගාර, කැලණිතිස්ස, කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් ඇතුළු බලාගාර කිහිපයක් ඉන්ධන නොමැතිව අක්‍රීය වී තිබීම හේතුවෙන් ඊයේ දිනයේ ජාතික පද්ධතියට මෙගාවොට් 563 ක් අහිමි වී ඇති බවයි මණ්ඩලය ප්‍රකාශ කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now