විගණන කාර්යාලයෙන් දැනුම් දීමක්.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක විවිධ චෝදනා මත රාජසන්තක කෙරුණු වාහන 435 කින් වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගතව ඇතැයි සඳහන් වෙනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ රාජසන්තක කෙරුණු වාහන සහ බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරන තෙක් රේගු අධීක්ෂණයේ රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව පෞද්ගලික ආයතනයකින් ගිවිසුම්ගතව ලබාගත් වර්ග අඩි 18,000 ක අංගනයක මේ වසරේ ජනවාරි 31 දක්වා වාහන 435ක්ද බහාලුම් 91 ක්ද රඳවා තිබුණ බවයි.
විවිධ වාහන 261 ක් සහ බහාලුම් 86 ක් වසර පහකට අධික කාලයක සිට එම භූමියේ රඳවා තිබෙනවා.
මෙම වාහන සහ බහාලුම් රැඳවීම සඳහා යොදාගත් භූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව ඒ භූමිය අයත් පෞද්ගලික ආයතනයට රුපියල් කෝටි 8 කට ආසන්න වටිනා අධික කුලී මුදලක් ගෙවා තිබූ බවත් විගණන අංශ පවසනවා.
විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත්තේ වසර පහකට අධික කාලයක සිට ගාල්කර ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොපමාව ගත යුතු බවයි.
